බලපත්ර නොමැතිව මස් පිණිස ඝාතනය කිරීම සඳහා මී ගවයින් 17ක් ලොරි රථයක පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කළ දෙදෙනකු අද(11දා) අත්අඩංගුවට ගැනීමට බරවකුඹුක පොලිස් මුරපොළෙහි නිලධාරිහු සමත්වූහ.
උඩවලව ප්රදේශයේ සිට වත්තල ප්රදේශයට මෙම මී ගවයින් 17 දෙනා ලොරි රථයක පටවාගෙන රැගෙන යාමට උත්සාහ කර ඇති අතර මෙම රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක පිවිසුමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ලොරි රථයේ ඉහළ කොටසේ අඩි දෙකක පමණ තීරුවක් විවෘතකර ගවයින් ප්රවාහනය කිරීම සඳහා සකස් කර තිබූ බව පොලිසිය කියයි. මෙම මී ගවයන් උඩවලව ප්රදේශයෙන් සොරකම් කර ඇති බවට පොලිසිය සැකකරයි. අත්අඩංගුවට ගත් ලොරි රථය මුතූර් ප්රදේශයේ ලොරියක් බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, මීගවයින් සහ ලොරි රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඟුණකොළපැලැස්ස පොලිසියට බාර දී ඇත.
අනීෂා මානගේ

