හොරණ රෙමුණ වැලිකැටැල්ල ශ්රී පුණ්යකේෂ්ත්රාරාමය විහාරස්ථානයේ විදුලිය කපා හැර ඇතැයි විහාරාධිපති ශාස්ත්රපති දිවලකඩ ඥානසේන හිමි පැවසූහ.
මේ හේතුවෙන් තමන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වසන හිමිවරුන් මෙන්ම දායක දායිකාවන් ද දැඩි අපහසුතාවයට පත්ව ඇත.
විහාරස්ථානයේ ආවාස ගෙට පමණක් රුපියල් 59,000ක් විදුලි බිලක් ලැබී ඇතැයි ද ඊට අමතරව අනෙකුත් ස්ථාන සඳහා ස්ථාපිත කර තිබෙන මීටර් හතරට තවත් රුපියල් 20,000 පමණ විදුලි බිල් 4 හතරක් ලැබී ඇතැයි එම හිමියන් පැවසූහ.
මේ වන විට ගිලන්පස පූජාව ඇතුළු අනෙකුත් ආවතේව කටයුතු දායක දායිකාවන් විසින් ගෙනෙන ලද ආරෝපණය කරන ලද විදුලි පහන් දල්වා සිදුකරගෙන යනු ලබන බවත් එම හිමියන් පැවසූහ
එම විදුලි බිල් පියවීම සඳහා ඊයේ සවස ප්රදේශයේ දායක දායිකාවන් ඇතුළු ප්රදේශවාසීන් පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කර ඇතැයි විහාරාධිපති හිමියන් වැඩිදුරටත් පැවසූහ
මේ පිළිබඳ විහාරාධිපති දිවලකඩ ඥානසේන හිමියන් මෙසේ පැවසූහ
"විදුලි බිල අසීමිත ලෙස වැඩි කරපු නිසා එය දරාගන්න බැහැ යැයි අවස්ථා කිහිපයක දී අදාළ බලධාරීන්ට පැවසුවා.
ඉකුත් ජනවාරි සහ පෙබරවාරි මස වල විදුලිය විසන්ධි කරන්න ආවත් එය මා විසින් වලක්වා ගත්තා,
දැනට ගෙවන්න පුළුවන් මුදල ගෙවා තියනවා ඊට වඩා අපිට ගෙවන්න අපහසුයි කියලා මා ඔවුන්ට දැනුම් දුන්නා
පසුගිය මාසේ 24 වැනිදා අපිට පුළුවන් විදිහට බල මණ්ඩලයට රුපියල් 14000 අධික මුදලක් අපි ගෙව්වා , නමුත් දෙවන වතාවටත් අපේ පන්සලේ විදුලිය සිඳලනු ලැබුවා,
පාලකයන් ජනතාවට කියනවා විහාරස්ථාන වලට සහන වෙනවා විදුලි බිල අඩු කරනවා කිව්වට, අපේ විහාරස්ථානයේ ආවාස මන්දිරයට පමණක් රුපියල් 59000 විදුලි බිලක් තියෙනවා අපිට ගෙවන්න,මේ විහාරස්ථාන භූමියේ විදුලි මීටර් 5ක් තියෙනවා විහාරස්ථානයට ම රුපියල් අසූ 80,000 පමණ විදුලි බිලක් අපිට ගෙවන්න වෙලා තියෙනවා
මේවා දායක දායිකාවන්ට කියන්නත් බෑ එයාලටත් විදුලි බිලෙන් කරන්ට් වැදිල තියෙන්නෙ"