නාවික හමුදාව යාපනය කිලාලි, කලපු ප්රදේශයේ ඊයේ (05දා) රාත්රී කාලයේ සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්රෑම් 37 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කිලාලි, මනල්කාඩු ප්රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනයේ කිලාලි අනුඛණ්ඩය මඟින් කිලාලි, කලපු ප්රදේශයේ පාමුර සංචාරයක් සිදුකරන ලදි. එහිදී, කිලාලි කලපුවේ මනල්කාඩු වෙරළ ප්රදේශයේ ඔස්සේ ගොඩබිම දෙසට සැකකටයුතු ලෙස පුද්ගලයන් දෙදෙනෙකු විසින් රැගෙන යමින් සිටි උර 02 ක් පරීක්ෂා කර, එම උර තුල පාර්සල් දහනවයක අසුරන ලද කේරළ ගංජා කිලෝ 37 ග්රෑම් 700 ක පමණ තොගයක් සමඟ එම සැකකරුවන් දෙදෙනා නාවික හමුදා භාරයට ගන්නා ලදී.
ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 11 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 17 සහ 29 යන වයසේ පසුවන කිලාලි ප්රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් සහ කේරල ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෙයි පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
