මිලාන් නාවික අභ්‍යාසයට ලංකාවෙන් නැව් දෙකක් යයි
ඉන්දීයානු නාවික හමුදාව විසින් 13 වැනි වරට සංවිධානය කරනු ලබන MILAN - 26 හා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2026, බහුපාර්ශික නාවික අභ්‍යාසය , මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2026 පෙබරවාරි මස 18 වැනි දින සිට 26 වැනි දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්ර නෞකා ද්විත්වය 2026 පෙබරවාරි මස 11 වැනි දින කොළඹ වරායෙන් දිවයිනෙන් පිටත් විය.
"සුහදත්වය, එකමුතුකම සහ සහයෝගීතාවය” (Camaraderie Cohesion Collaboration) යන තේමාව රැගත් MILAN - 26 බහුපාර්ශික නාවික අභ්‍යාසය සහ "සාගර හරහා එක්සත් වීම" (United Through Oceans) යන තේමාව රැගත් ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය, කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන් රැසක නාවික හමුදා, වෙරළාරක්ෂක බලකා හා සමුද්‍රීය පාර්ශ්වකරුවන්ගේ යුද නෞකා, ගුවන් යානා සහ සබ්මැරීන සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගීවන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් නිලංග ධර්මරත්න වෙත සහ ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ 'නන්දිමිත්ර' නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලෝහිත ද සිල්වා වෙත ධජ නිලධාරී නාවික දියත් විධානය, කොමදෝරු ධනේෂ් පත්බේරිය විසින් සුභාශිංෂණ පිරිනැමීමෙන් අනතුරුව, එම නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත් විය.
තවද, මෙවැනි බහුපාර්ශ්වික නාවික අභ්‍යාස සඳහා සහභාගී වීම මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය සහ ගෝලීය නාවික හමුදා, වෙරළාරක්ෂක බලකා සහ අනෙකුත් සමුද්‍රීය පාර්ශ්වකරුවන් සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාවය හා අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවන අතර, සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, උපාය මාර්ගික ක්රමෝපායන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, ඉන්දියානු සාගර කලාපයේ නව සමුද්‍රීය අභියෝග හඳුනා ගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීමට හැකිවීම වැනි ප්රතිලාභ රැසක් හිමි වනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

