ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් මිල්කෝ ආයතනයට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාව සඳහා පසුගිය වසර 08ක කාලසීමාව තුළ (2015 වර්ෂයේ සිට 2022 අගෝස්තු 31) දක්වා නිකුත් කරනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ නමදහස් හාරසිය හැටහතක් වටිනා ඩීසල් ලීටර් 165,300ක් මිල්කෝ ආයතනයේ කර්මාන්ත ශාලාවේ තෙල් ටැංකිවලට ගොඩබෑමේ කටයුතු සිදු වී නොමැති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම පසුගිය වසර 6 තුළදී (2017 වර්ෂයේ ජනවාරි 01වැනිදා සිට 2022 වර්ෂයේ අගෝස්තු 31වැනිදා) රුපියල් 9,364,835ක් වටිනා ඩීසල් ලීටර් 92,400ක් රැගත් බවුසර් රථ 14ක් කර්මාන්ත ශාලාව වෙත පැමිණ නොතිබූ නමුත්, එම ඉන්ධන සඳහා ගෙවීම් සිදුකර තිබිණි.
එසේම ඇතැම් ඉන්ධන තොග සම්බන්ධයෙන් ඉන්වොයිස්වල දැක්වෙන අත්සන් ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ අත්සන් හා නොසැසඳෙන බවට එම විගණන වාර්තාවේ සඳහන් වේ. ඉන්ධන තොග ලැබීමේ ආරක්ෂක අංශයේ ලේඛන පරීක්ෂාවේදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවද පසුගිය 03වැනිදා නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
එමෙන්ම අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවේ විදුලි ජනක යන්ත්‍රය සඳහා ටැංකිවලින් ඩීසල් නිකුත් කිරීමේදී ඩීසල් ලීටර් 58,703 ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බවද එම විගණන වාර්තාව මගින් අනාවරණය වී ඇත.
අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවේ ඉන්ධන මිලදී ගැනීමේදී හා නිකුත් කිරීමේදී සිදු වී ඇති වංචාවන් අනුව එහි අභ්‍යන්තර පාලනය ඉතා දුර්වල මට්ටමක ඇති බවද නිරීක්ෂණය වන බව එම විගණන වාර්තාවේ සඳහන් වේ.
ඉන්ධන අක්රමිකතාවන්ට සම්බන්ධ පාර්ශ්වයන් සඳහා විනයානුකූලව පියවර ගත යුතු බවද විගණනය මගින් නිර්දේශ කර ඇත.
මේ සම්බන්ධව කරන ලද විමසීමේදී මිල්කෝ සමාගමේ කළමණාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ, ඩීසල් තොග අක්‍රමිකතා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන අංශය විසින් පූර්ණ විගණන පරීක්ෂණයක් සිදුකළ බවත්ය.
එම වාර්තාව මගින් හෙළි වූ කරුණු අනුව මේ සඳහා වගකිවයුතු නිලධාරීන්ගේ වැඩ තහනම් කොට ඉදිරි විනය පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවත් අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව සමාගමේ කළමණාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.