මිය ගිය දරුවාව හොර රහසේ රෝහලෙන් රැගෙන ගියා පියා මිය ගිය දරුවාට සිදු කලේ කුමක්ද යන්න පිළිබඳව කඩිනම් විමර්ශනයක් නුවරඑළිය පොලිසිය සිදු කරන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි.
නුවරඑළිය සංචාරයකට පැමිණි අවස්ථාවක හිටිහැටියේ දරුවාට සිහිය නැතිවූ බව පවසමින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට වයස අවුරුදු 14ක් වූ පිරිමි දරුවකු ඔහුගේ පියා යැයි කියා ගත් පුද්ගලයෙකු විසින් ඇතුළත් කිරීමත් සමඟ හදිසි තත්වය සලකා වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම සදහා අපේක්ෂා කරන අවස්ථාවේදී දරුවා මිය ගිය බව දරුවා රැගෙන ආ පුද්ගලයාට පවසා ඇත.
වෛද්‍යවරුන් එසේ පැවසීමෙන් උරණ වූ එම පුද්ගලයා ‘මීට කලිනුත් මගේ දරුවාට මෙහෙම කලන්තයක් වගේ ඇවිත් දරුවා මැරුණා කියලා වෛද්‍යවරුන් මාව බය කරා මම පෞද්ගලික රෝහලට එක්කන් ගිහින් දරුවා බේරාගන්නම්’ යනුවෙන් කේන්තියෙන් පවසා මියගිය දරුවා රෝහලට ගෙනා බස් රථයේම දමා රැගෙන යාමට එම පුද්ගලයා කටයුතු කල බව පවසා දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන් නුවරඑළිය පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බව නුවරඑළියෙ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි .
හදිසි අවස්ථාවක් එබැවින් දරුවාගේ හා දරුවා රැගෙන පැමිණි පුද්ගලයාගේ කිසිදු තොරතුරක් ලබා ගැනීමට මහ රෝහලට නොහැකි වී ඇති බව ද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනාවරණය කරයි .
දරුවා රැගෙන රෝහලට පැමිණි බස් රථය රෝහලේ ආරක්ෂක කැමරා පද්ධතිය හරහා නිරීක්ෂණය කර ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පවසයි .