ප්‍රසිද්ධ දේශපාලනඥයකු ලෙස පෙනී සිටිමින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබා දී මරණීය තර්ජනය කළ දුරකථන අංකයට අදාල පුද්ගලයාගේ සම්පූර්ණ නම, ලිපිනය සහ හැඳුනුම්පත් අංකය මිනුවන්ගොඩ පොලිසියට ලබා දෙන ලෙස අදාළ ජංගම දුරකථන සමාගම් දෙකකට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සි ඒ සමරදිවාකර මහතා අද (25දා) නියම කළේය .
තවද ඉකුත් 21 වැනිදා එසේ මරණීය තර්ජනය කළ දුරකථන අංකයට ලැබුණු සහ ලබාගත් ඇමතුම් සහ සම්ප්‍රේෂණ කුළුණු සම්බන්ධ සවිස්තර වාර්තාවක් ද මිනුවන්ගොඩ පොලිසියට ලබා දෙන ලෙස එම ජංගම දුරකථන සමාගම් දෙකට අධිකරණයෙන් වැඩිදුරටත් නියම කෙරුණි.
මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවක් වහාම මුදා හැරිය යුතු බවත් එසේ සිදු නොකළහොත් ජීවිතයට හානි සිදුවිය හැකි බවට ඇමතුමක් මගින් ස්ථානාධිපතිවරයාට තර්ජනය කළ බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
සිදුකළ විමර්ශනයේදී ප්‍රසිද්ධ දේශපාලනඥයා එසේ ඇමතුමක් ලබා නොදුන් බවට අනාවරණය වී ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය .
පරීක්ෂණ සිදුකර ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් මිනුවන්ගොඩ පොලීසියට නියම කෙරුණි .
ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක