මිනීමැරුම් 19 ක් සිදු කර ශ්‍රී ලංකාවෙන් ඩුබායි වෙත පළා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී ඊයේ (25දා) අලුයම එයින් මිදී පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
මෙම සිදුවීම නිසා කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර මහතා ඇතුළු සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට 02/25 දින රාත්‍රී ඉදිරිපත් කර තිබේ .
එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇප මත මුදා හැර ඇති අතර , එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ කාර්යය භාර නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සිටි පොලිස් සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කෝරළේ කංකානමලාගේ රවිඳු වර්ණ රංග නැමැති 28 හැවිරිදි දකුණු කළුතර , දූව , පංසල පාරේ පදිංචි පුද්ගලයෙක් මෙසේ පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා ගොස් තිබේ.
ඉහත නම මොහුගේ ජාතික හැදුනුම්පතේ මෙන්ම ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයේත්, එසේම මොහුට එරෙහිව අධිකරණය විසින් පනවා ඇති ගුවන් ගමන් තහනම් නියෝගයේද සදහන්ව තිබේ.
කළක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර , පසුව ඉන් පළා ගිය පුද්ගලයෙකු වන මොහු තනිවම මිනීමැරුම් 09 ක් සිදු කර ඇති අතර තවත් පුද්ගලයන් සමග හවුල් වෙමින් තවත් මිනීමැරුම් 10 ක් සිදු කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .
මොහු 02/24 දින රාත්‍රී 06.30 ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත මෝටර් රථයකින් පැමිණ තිබේ .
ඔහු සමග පිටත්ව යාම සදහා තවත් පුද්ගලයෙකු ද වෙනත් මෝටර් රථයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
පසුව මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පැමිණි අතර එහිදී මෙම පුද්ගලයාට එරෙහිව ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තු පරිගණක ජාලයේ සදහන්ව ඇති බැවින් මොහුට තවදුරටත් ගුවන් තොටුපළ තුළ ඉදිරියට යෑමට ඉඩ නොදී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත මේ පිළිබඳව දැනුම් දීමක් සිදු කර තිබේ.
මේ සියල්ල කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂිත කැමරා වල සටහන් වී ඇති අතර පසුව 02/24 දින රාත්‍රී 06.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පැමිණ, මොහු අත් අඩංගුවට ගෙන පොලීසිය වෙත රැගෙන ගොස් තිබේ .
ඉන්පසුව භික්ෂූන්වහන්සේලා දෙදෙනෙකු සැරසී පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ මොහු නිදහස් කර ගැනීම පිළිබඳව පොලීසිය සමග සාකච්ඡා කර තිබේ .
පසුව මේ පිළිබඳව පොලීසිය සිදු කළ විමර්ශන වලදී මොවුන් දෙදෙනා භික්ෂූන්වහන්සේලා ලෙස වෙස් වළා ගත් පුද්ගලයන් දෙදෙනෙකු බව අනාවරණය කර ගෙන තිබේ .
ඒ අතර මෙම සැකකරු පොලිස් කූඩුවෙන් එළියට ගෙන සිටි අතර , 02/25 අලුයම 12.05 ට පමණ මොහු කටුනායක ගුවන් තොටුපළ පොලිස් අත් අඩංගුවෙන් මිදී පළා ගොස් තිබේ .
මේ වනවිට මෙම සිදුවීම පිළිබඳව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න , මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා , මීගමුව දිස්ත්‍රික් iii කටුනායක ප්‍රදේශය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .