සංවර්ධනය ඉලක්ක කරගනිමින් මිනිසුන්ගේ කරපිට බර පටවන්නෙ නැතුව ඉතාම කල්පනාවෙන් ඉදිරිපත් කළ දූරදර්ශී අනාගතවාදී අයවැය ලේඛනයක් මුදල් ආමත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14දා) රට හමුවේ ඉදිරිපත් කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එබැවින් සම්ප්‍රදායිකව අයවැයට ඇතුළත්වන ඇතැම් කරුණු මෙවර අයවැයට ඇතුළත්කර නැතැයිද ඔහු සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (14දා) මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේද පැවසීය.
මෙය බිඳ වැටුණු ආර්ථිකය ගොඩ නැඟීමට ඉතාම දුෂ්කර ආර්ථික කොන්දේසි යටතේ හදපු අයවැයක්. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අපට සහය දෙන අනෙකුත් මූල්‍ය ආයතන සමඟ පවත්වපු සාකච්ඡා පදනම් කරගනිමින් හදපු අභියෝගාත්මක අයවැයක්. සංවර්ධනය ඉලක්ක කරගනිමින් මිනිසුන්ගේ කරපිට බර පටවන්නෙ නැතුව ඉතාම කල්පනාවෙන් ඉදිරිපත් කළ දූරදර්ශී අයවැයක් හැටියට මම මේ අයවැය දකිනවා.
මේ අපි මුහුණ දෙමින් ඉන්නේ ඉතාම දුෂ්කර අභියෝගාත්මක කාල පරිච්ජේදයකටයි. පසුගිය කාලයේදී ජනතාව වෙනසක් බලාපොරොත්තු වුණා. දැන් ඒ වෙනස සිදුවෙමින් තිබෙනවා. රජය මේ මොහොතේදී සෙමෙන් සෙමෙන් ස්ථාවර ගමනක යෙදෙනවා.
විපක්ෂය මේ අයවැය විවේචනය කරමින් ඒ ගොල්ලන්ගෙ සම්ප්‍රදායික දේශපාලනය කරාවි. නමුත් අපි හදන්නේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්නයි. ඒ වෙනුවෙන් අපිත් සමඟ අත්වැල් බැඳ ගන්න කියල මේ මොහොතේදී හැමෝගෙන්ම ඉල්ලනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.