මින් ඉදිරියට රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනිම වෙනුවෙන් ඉල්ලිම් නොකරන බවත් නිදහස වෙනුවෙන් සටන් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රන්ජන් රාමනායක මහතා අද පෙරවරුවේ මැගසින් බන්ධනාගාරයේදී මුණ ගැසීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා මේ බව පැවැසීය.
“අපි පුන පුනාම මේ රජයෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලිමක් කළා රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන්න කියලා. ඒ දේ තවම සිදුවෙලා නෑ. හරීන් ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් කණ්ඩායමක් පත්කර තිබෙනවා රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් සටන කරන්න.
අපි ඒක තවදුරටත් ශක්තිමත් කරලා රන්ජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් සටනක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කරපු ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නෑ. හැමවිටම කරලා තිබෙන්නේ ඇන්දවීමයි. රැවටීමයි.
සාධාරණත්වයක් ඉටුකරනවා කිව්වට ඒක වෙලා නෑ. රන්ජන් රාමනායක මහතා මානව හිතවාදියෙක්. රටට සම්පතක්. එයාගේ ප්‍රකාශයක් නිසා වසර එක හමාරක් සිරගතව සිටිනවා. එතුමාගේ නිදහස වෙනුවෙන් මින් ඉදිරියට ඉල්ලීම් කරන්නේ නෑ.
එතුමට නිදහස ලැබෙනකම් අඛණ්ඩ සටනක නියැලෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. එය හරින් ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් මගේ දායකත්වයෙන් සිදුකරනවා.”
