මෑත කාළීන ඉතිහාසයේ විශාලතම හිග වැටුප වූ ශ්‍රී ලංකා රුපියල් විසි පන් ලක්ෂ දස දහස් හාරසීයයක් වටිනා කුවේට් ඩිනාර්
2,400 මුදලක් ලබා ගත් එරට ගෘහ සේවිකාවක ලෙස සේවය කල ජෙනිටා ඩේලිකා එරට සිට 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
46 හැවිරිදි ජෙනිටා ඩේලිකා ගාල්ල ගෝනාපීනුවල පදිංචි එක් දරු මවකි. ඇය ඉකුත් 2019.08.27 දින කුවේට් රාජ්‍යයේ සුලබිකාත් ප්‍රදේශයේ නිවෙසක ගෘහ සේවය සදහා ගොස් තිබුණි.
එරට පාසැල් ගුරුවරියක වූ එම නිවස හිමි කාන්තාව නිතර නිතර ජෙනීටාට පහර දෙමින් සිය නිවසෙහි වැඩපළ කරවා ගෙන තිබේ.
"එම නිවස හිමි කාන්තාව මට නිතරම ගැහුවා. හරියට කරදර කළා. ඒ අතරෙ මට නිසි පරිදි මාසිකව වැටුප් ගෙවීමක් සිදු කළෙත් නැහැ." ජෙනීටා ඩේලිකා පැවසුවාය .
"මම මේ පිළිබඳව මගේ අම්මාට දැනුම් දුන්නා . ඒ අනුව 2022.02.02 දින අම්මා කොළඹ ඇවිත් , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා .
එම පැමිණිල්ල කුවේට් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දීමෙන් පසුව , අමාලා මන්සිදියා ප්‍රදේශයේ පොලිසිය වෙත මේ පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පැමිණිළි කර තිබුණා."
ඒ වනවිටත් ජෙනීටා ඩේලිකා එම නිවසෙහි සේවය කරමින් සිටි අතර , එම නිවසෙහි හාම්පුතුන් පොලිසියට කැදවා මේ පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී අවුරුදු 03 යි මාස 08 ක් එම නිවසෙහි සේවය කළ ජෙනීටා වෙත ගෙවා තිබුණේ අවුරුදු 01 යි මාස 03 ක වැටුපක් පමණි .
පසුව එම ප්‍රදේශයේ අධිකරණය වෙත මෙම පැමිණිල්ල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ අතර එහිදී ඉතිරි හිග වැටුප ගෙවීමට එම නිවසෙහි හාම්පුතා මාසයක කාළයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබුණි .
එතෙක් ජෙනීටා ඩෙලීකා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත රැදවුම් මධ්‍යස්ථානයක රදවා තබා තිබේ.
මෙම විශාලතම හිග වැටුප් මුදල ඇයට ලබා දීමට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජනක සමරසේකර මහතා වෙත " බුදු බව අත් වෙන්න ඕනෑ " බව සදහන් කරමින් සිය කෘතඥතාව බොහෝ වාර ගනනාවක් මෙම කතාව අතර සදහන් කිරීමට ජෙනීටා අමතක නොකළාය.
ජෙනීටා ඩේලිකා මෙම මුදල ද රැගෙන 08/24 දින අලුයම 06.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙනීටා සදහන් කළේ , මෙම මුදල අරපරිස්සමෙන් පාවිච්චි කරන බවත් , තවදුරටත් ආර්ථික දුෂ්කරතා මතු වුවහොත් යළිත් විදේශ ගෘහ සේවය සදහා පිටත්ව යාමට සිදු විය හැකි බව ද පැවසුවාය.
