මැදවච්චිය දුම්රිය ස්ථානයේ නවතා තිබෙන BGT-5376 දරණ ඉන්ධන ටැංකියේ මුද්‍රා කඩා රුපියල් 611550/= ක් වටිනා ඩීසල් ලීටර් 1510 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අප සංගමයට දැන ගැනීමට ලැබී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සමකැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා පවසයි.
ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු පවසන්නේ මෙම ඉන්ධන සොරකම 2023. 03. 12 සහ 2023. 03. 16 දින වලදී හෝ ඒ ආසන්න කාලයේදී සිදුකර ඇති අතර, මෙම ඉන්ධන ටැංකියට පැය 24 පුරා ආරක්ෂක රැකවරණ ලබාදී තිබියදීත්, ඉන්ධන සොරකම සිදුකර ඇති බවයි.
එමෙන්ම ඉන්ධන ටැංකිය 2023. 01. 07 දින මෙම ස්ථානයේ ස්ථානගතකර ඇති අතර, ඊට ආරක්ෂාව ලබාදීම සඳහා බැහැර සේවා ස්ථාන වලින් ආරක්ෂක නිලධාරීන්ද යොදවා තිබූ බවත් දැනගැනීමට ඇතැයි එම ලිපියේ දැක්වෙයි.
'මේ සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතත්, දෙපාර්තමේන්තුවෙන් නිසි පරීක්ෂණයක් තවමත් ආරම්භ කර නැත. මෙවැනි විෂමාචාරයක් දැනගත් වහාම, මූලික විමර්ශනයක් සිදුකර සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය හෙළිදරව් කරගැනීම සහ ඊට වග කිවයුතු පුද්ගලයින් හඳුනාගෙන අවශ්‍ය විනය පියවර ගැනීම, විනය නීති සංග්‍රයට අනුව විනය බලධාරියාගේ කාර්යභාරය වුවද, එසේ නොකොට, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට වාර්තා කළ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබීමෙන් පෙනීයන්නේ, දුම්රිය ආරක්ෂක අධිකාරී සහ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් එක්ව අනිකුත් බොහෝ සිද්ධී මෙන්ම මෙම සිද්ධියද යට ගැසීමට උත්සහ දරමින් සිටින බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව විශාල අර්බුදයකට යවා ඇති මොහොතක, නිසි පරීක්ෂණ මගින් මෙවැනි සොරකම් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට හැකියාව තිබියදීත්, සොරකම් යටගැසීමත්, සොරුන් බේරීමට තැත් කිරීමත් දැවැන්ත අපරාධයක් බවද පෙන්වා දෙමු.
මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ නිසි අවධානය යොමුකර සිද්ධියට සම්බන්ධ සියළු පුද්ගලයින්ට හා සිද්ධිය යටපත් කිරීමට කටයුතු කරමින් සිටින නිලධාරීන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.' යැයි එම ලිපියේ දැක්වෙයි.