රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා මෙවර පළාත් පාළන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරගවදින බවත් මැතිවරණය මෙහෙයවීම බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළත් නායකත්වය දරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාළන අට වෙනුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්රශ්නවල ට පිළිතුරු දෙමිණි.
"රටේ පවතින අර්බුදය හමුවේ මැතිවරණ පැවැත්වීම නුසුදුසු වුවත් ප්රජාතන්ත්රවාදය කියන්නේ ලෝකයේ තියෙන වියදම් අධිකම දෙයක්.රටක් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරනවා කියන්න්නේ නිසි කලට මැතිවරණ පැවැත්විය යුතුයි.ඒ අනුව පක්ෂයක් හැටියට අපට ශක්තියක් හෝ හැකියාවක් නෑ මැතිවරණ කල් දාන්න හෝ මැතිවරණය තියෙන දිනයක් කියන්න.
පක්ෂය හැටියට අපට හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව නියම කරන දිනයට මැතිවරණයට මුහුණ දීමයි.ඒ අනුව මෙවර මැතිවරණයට ඉතාම විශ්වාසනීයව,ශක්තිමත්ව මේ මැතිවරණයට මුහුණ දෙනවා.ඒ වගේම ජයග්‍රහණය කරනවා. මේ මැතිවරණය මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා.අපට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.පොලොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායකතුමා සිරිපාල ගමලත් මැතිතුමා.මෙවර පසුගිය මැතිවරණයටත් වඩා ජයග්‍රහණයක් අපි ලබනවා."යැයි ද කීය.