රට තුළ මැතිවරණයක් පැවැත්විය යුත්තේ ජනතාව පිඩාවෙන් මුදා ගැනීමෙන් අනතුරුව බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසිය.
පාලිත රංගේ බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (05) දින නාවලපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදිය.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවක් කර තියෙනවා පළාත් පාලන මන්ත්‍රිවරුන්ගේ බර රටේ ජනතාවට දැරිමට අපහසු නිසා 8000ක් පමණ වන මන්ත්‍රී සංඛ්‍යාව 4000ක් දක්වා අඩු කිරීමට.
ඒකට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනව නිසා විෂය භාර ඇමතිවරයාට පුළුවන් සිමා නිර්ණය කිරිමට යෝජනා ඉදිරිපත් කරන්න කම්ටුවක් පත් කරන්න.
ඒ සඳහා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.
අද දේශපාලනය කිරිමේ අවශ්‍යතාවක් නෙමෙයි ජනනතාවට තියෙන්නේ. උද්ඝෝෂණවලට ජනතාව එක්වෙන්නේ නෑ. රැස්වීම් සංවිධානය කරන අයට ජනතාව හූ කියා එළවවනවා.
දැන් ජනතාවට තියෙන්නේ ජිවත් විමේ ප්රශ්නය. එක්සත් ජාතික පක්ෂයට තනි පක්ෂයක් ලෙස රට ගොඩ නගන්න බෑ. අපි සියලුම පක්ෂ සමග කටයුතු කරනවා.
ඒ නිසා සියළුම පක්ෂ එක්ක තමයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිට වන්නේ.
අපි මැතිවරණ කල් දමන්නේ නෑ. අපිට අවාසි සහගත අවස්ථා බොහෝසමයකදී අපි මැතිවරණ පවත්වා තිබෙනවා. මැතිවරණයක් පැවැත්විය යුතුතේ ජනතාව මේ විදින පීඩයෙන් මුදලවා.”