මැතිවරණයක් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පළමුවෙන් පොදු එකගතාවයකට පැමිණිය යුතු බවත් මේ බැරෑරුම් අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ අතර මෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර ද බෙදීමක් නිර්මාණය වී තිබෙන බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
මහනුවර සහස් උයනේ දී ඊයේ (07දා) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.
පක්ෂ කිහිපයක් ජනමතය උරගා බැලීම සඳහා මැතිවරණයක් ඉල්ලා සිටියදී තවත් පිරිසක් මේ බැරෑරුම් අවස්ථාවේ මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වැය කිරීම අපගේ ආර්ථිකයට දරාගත හැකිද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව කී ඒ මහතා මේ සියලු කරුණු මාධ්‍යයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද මැතිවරණයට මුහුණදීම සඳහා සූදානම් වෙමින් සිටින බව ද අවධාරණය කළේය.
ගම් සභාවක් හෝ දිනාගත නොහැකි ඇතැම් පක්ෂ මැතිවරණයක් ඉල්ලමින් බොරුවට කෑ ගසමින් සිටින බව අවධාරණය කළ කෝප් කමිටු සභාපතිවරයා අරගලය මුවාවෙන් මේ රටේ ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පක්ෂයක් එසේ කෑමොර දෙමින් සිටින බවද පැවසීය.
දශක පහක දේශපාලන ඉතිහාසයක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම 03 %ක් බවත් පෙරටුගාමීන්ට ගම් සභාවක හෝ බලය ලබා ගැනීම සිහිනයක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ෂේන් සෙනෙවිරත්න