පළාත් පාලන මැතිවරණයට මාස 06ක කාලයක් ලබා දී තිබියදී නිසි පරිදි කටයුතු නොකරමින් මැතිවරණ කොමිෂන් සභාව සිය වගකීම පැහැරහැර තිබෙන බවත්, එය රජය විසින් සිදු කළ කාරණයක් නොවන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
'සර්වජන ඡන්දය බලය' පිළිබඳ අද (09දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ සඳහන් කළේය.
"මේ මැතිවරණය පවත්වන්න නැවත මැතිවරණ කොමසාරිස්තුමා දිනයක් දීලා තියෙනවා. ඒත් නීතියෙන්ම මාස 06ක්, සැප්තැම්බර් මාසයේ 20 ඉදලා මාර්තු මාසයේ 20 දක්වාම මාස 06ක් දුන්නා ඡන්දය පවත්වලා අවශ්‍ය කටයුතු කරන්න. ඒක නීතියෙන් තිබෙන දෙයක්. ඒ නීතියෙන් තිබුණු බලය අපි උදුර ගත්තේ නෑ එදා 2015දී වගේ.
මාර්තු මාසයේ 20වැනිදා තමයි මේ රටේ පළාත් පාලන ආයතන ස්ථාපිත කරන්න තියෙන දිනය. මැතිවරණ කොමිසම ජනවාරි 04 වෙනකන් ඉන්නේ නැතිව පටන් අරන් ආවා නම් වැඩේ කරගන්න තිබ්බා. කොමිසමට කවුරැත් බලපෑම් කළේ නෑනේ දිනය ගැසට් කරන්න එපා කියලා.
ඉතින් හය මාසයක් දීලා තිබුණා. ඒ මාස 06 තුළ ඡන්දය තියලා අවසන් කරලා ගැසට් නිවේදනයේ තියෙන්නේ මාර්තු මාසයේ 19වැනිදා වන විට මේ රටේ පළාත් පාලන ආයතන 340ක ධුර කාලය ආරම්භ කරන්න කියලා. දැන් මම අහනවා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඒ අධ්යක්ෂ ජනරාල්ට හරි මේ ධුර කාලය 19වැනිදා ආරම්භ කරනවාද දැන්? ඒක තමයි ධුර කාලය ආරම්භ කරන්න නීතියෙන් දීපු කාලය. ඒත් ඒ කාලය ඔවුන් විසින්ම දැන් පැහැර හැරලා තියෙන්නේ. අපි නෙවෙයි."