රුපියල් ලක්ෂ පනස් හතරක් පමණ වටිනා මැණික් ගල්තුනක් අලෙවි කිරීමට ගිය පුද්ගලයකු මාදුරුඔය හේනානිගල ප්රදේශයේදි නවතා රාජකාරි ගිනිඅවියෙන් අහසට වෙඩිතබා එම මැණික් ගල්තුන පැහැර ගැනීමට සම්බන්ධ සැකපිට, හේනානිගල වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයා, වනජීවී නියාමකවරුන් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙකු ගිනිඅවියක් සහ අත්මාංචුවක් සමග 23 වැනිදා සවස අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුවන් සතුව තිබූ මැණික් ගල් එකක්ද, ගිනි අවියද අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. පී. බණ්ඩාර මහතා අප කළ විමසීමේදී සඳහන් කළේය.
ජූලි 7 වෙනිදා රාත්රියේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඒ පිළිබඳ පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව දුරකථන අංක උපයෝගීකර කරගනිමින් කරන ලද විමර්ශනයට අනුව අදාල වනජීවීනිලධාරීන් තිදෙනා සහ ඒ සඳහා ඔත්තු ලබාදුන් තවත් පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවද කොට්ඨාශ විමර්ශන අංශය සඳහන් කරයි.
ලක්ෂ පනස් හතරක් වටිනා මැණික් ගල්තුන රැගෙන ආ පුද්ගලයාගෙන්, කනිච්චියගල ප්රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු එය දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේ අයෙකුට අලෙවි කිරිම සඳහා හේනානිගල මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී අදාල වනජීවී නිලධාරීන් අහසට වෙඩි තබා ඔහු බියගන්වා මෙම මැණික් ගල්තුන පැහැරගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 40 ත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් අද පොලොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
මනම්පිටිය නිමල් ජයරත්න