මත්ස්‍ය සැපයුම අඩුවීම හේතුවෙන් මේ දිනවල මාළු මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැව් ගාල්ලේ පාරිභෝගිකයින් පවසති. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ධීවර කාර්මිකයින් මුහුදු යාමෙන් වැලකී සිටීම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇත.මේ හේතුවෙන් සෑම මත්ස්‍ය වර්ගයකම කිලෝවක මිල රුපියල් 1300. 1500 දක්වා ඉහළ ගොස් ඇති බැව් පාරිභෝගිකයින් පෙන්වා දෙති.
රුපියල් තුන්සියයකට පමණ තිබූ ලින්නෝ කිලෝවක් රුපියල් 1300 දක්වා වැඩිවී ඇත. බලයා.කෙලවල්ලා.යන මත්ස්‍ය වර්ග වල මිල ගණන්ද විශාල වශයෙන් වැඩිවී ඇත. මාළු මිල ඉහළ යන අවස්ථාවලදී සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට මාළු අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් තවමත් රජය මගින් ආරම්භ කොට නොමැති බැව් ගාල්ල දිස්ත්‍රික් ධීවර සමූපාකාර සංගමයේ සභාපති පි.බි. ගාමිණී මහතා පවසයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීවේය.
මත්ස්‍යයින් ගබඩා කිරීම සඳහා තිබූ ශිතාගාර පසුගිය රජය මගින් තුට්ටුවට දෙකට විකුණා දැම්මා. මාළු මිල අඩුවන අවස්ථාවලදී මත්ස්‍යයින් මිලදී ගෙන ගබඩා කිරීම සඳහා ශිතාගාර පහසුකම්
දැන් නැහැ. ශීතාගාර තිබුණා නම් මාළු වල මිල අඩුවන විටදී මාළු මිලදී ගෙන මාළු මිල වැඩිවන විට පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට මාලු ලබාදීමට තිබුණා. මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. යැයිද ගාමිණී මහතා සඳහන් කළේය.අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල ධීවර වරායේ මසුන් ගොඩ බෑමද ඉතා සුළු වශයෙන් සිදුකරණු ලබන ධිවර කාර්මිකයින් පවසති.
චන්දන සමරවික්‍රම