ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගැනීම සඳහා දුර බැහැරින් පැමිණෙන බැතිමතුන්ගේ පහසුකම් මධ්‍යස්ථානයක් ලෙස දියවඩන නිළමේවරයාගේ නිල නිවස ඉදිරිපිට පැරණි ජාතික පොළ භූමියේ ලෝක බැංකුවේ ආධාර මත ඉදිරිපත් ඉදිකරනු ලැබූ ගොඩනැගිල්ල ව්‍යාපාරිකයෙකු විසින් අත්පත් කරගෙන ඊට ඉබි යතුරු දමා වසා දැමීම හේතුවෙන් එහි පැමිණෙන බැතිමතුන් දැඩි අපහසුතාවයට පත්ව සිටී .
එම ව්‍යාපාරිකයා එම ස්ථානය බදු ගත් බව පවසමින් ඊට ඉබි යතුරු දමා එහි ඇතුළත මේ වන විට ඉදිකිරීම් ද සිදුකරමින් පවතින ආකාරය බැතිමතුන් ගේ ඉල්ලීම පරිදි එහි ගිය මාධ්‍යවේදීන්ට දැකගත හැකි විය .
දළදා මාළිගාව වැඳ පුදා ගැනීම සඳහාදුර බැහැරින් පැමිණි බැතිමතුන් අද (06) පෙරවරුවේ ධාරානිපාත වර්ෂාවේ මහමග රැඳී සිටියදී එම ගොඩනැගිල්ලේ ඉදිරිපස ඇති ප්‍රවිෂ්ට වීමේ දොරවල් පවා වසා දමමින් එහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින ආකාරය දැක ගත හැකි විය .
මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙහි වහල නිර්මාණය කර තිබෙන අතර සැලසුමට පිටතින් වෙනත් කිසිදු ඉදිකිරීමක් සිදු කිරීමට හැකියාවක් නොතිබිය දී අදාළ ව්‍යාපාරිකයා තහඩු භාවිතා කරමින් ඉදි කිරීමක් සිදු කරන ආකාරයද දැකගත හැකි විය .
මේ සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ එම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ කොටසක් ආපනශාලාවක් පවත්වාගෙන යාම සඳහා අදාළ ව්‍යාපාරිකයා විසින් බදු පදනම මත ලබාදී ඇති බවත් එය වසා දමා ඇතැයි කියන කොටස ආපන ශාලාව විවෘත කිරීමත් සමඟ විවෘත වනු ඇති බවත්ය.
කෙසේ නමුත් එහි පැමිණි බොහෝ පිරිසක් චෝදනා කර සිටියේ පිටතින් පැමිණෙන බැතිමතුන්ට ආහාර පිස ගැනීම සඳහා ස්ථානයක් වෙන් කොට තිබූ බවත් එම ස්ථානය ද එම ව්‍යාපාරිකයා විසින් අත්පත් කරගෙන ඇති බවයි.


