මාස් මෙත්ලිය සේවකයන්ට රැකියා අහිමිවීමක් නෑ, විකල්ප දෙකක්
Mas සමූහයට අයත්, තුල්හිරිය MAS ෆැබ්රික් පාක් හි පිහිටා ඇති මෙත්ලිය කර්මාන්තශාලාවේ කිසිදු සේවකයෙකුට රැකියා අහිමිවීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ අද (24) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දිවයිනේ ඇඟලුම් ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටින MAS ආයතනය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන බවත්, දිවයින පුරා එම සමූහයට අයත් ආයතන 40කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර සේවකයන් 90,000කට අධික පිරිසක් සේවය කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
තුල්හිරිය මෙත්ලිය කර්මාන්තශාලාවේ මෙතෙක් සිදුකළ ෆැබ්රික් සහ ඇඟලුම් නිෂ්පාදන කටයුතු අතරින්, ඉදිරියේදී නිමි ඇඳුම් නිෂ්පාදනය නවතා රෙදි (ෆැබ්රික්) නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීම සඳහා පරිශ්‍රය භාවිතා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව රෙදි ගෙතීම, ඩයි කිරීම සහ නිම කිරීම යන ක්ෂේත්රවල ධාරිතාවය ඉහළ නැංවීම මෙහි අරමුණ වේ.
ෆැබ්රික් ක්ෂේත්රය සඳහා ගෝලීය තරඟකාරිත්වය වැඩි වශයෙන් පවතින බැවින් ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙත්ලිය ආයතනයේ සේවය කරන සේවකයින් 2200 දෙනාට තම කැමැත්ත පරිදි MAS සමූහයට අයත් ශ්‍රී ලංකාවේ වෙනත් කර්මාන්තශාලාවක හෝ ජෝර්දානයේ පිහිටි MAS ආයතනයක සේවය කිරීමට අවස්ථාව සලසා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
