රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු විදේශීය රටකින් මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී ගිනි අවි පෙන්වා එම ව්‍යාපාරිකයා සමග පැහැර ගෙන ගොස් තිබියදී කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම භාණ්ඩ තොගය සහ ඒවා පැහැර ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනකු අද (28දා) අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 52 ව්‍යාපාරිකයෙකු ගුවන් මගින් මෙරටට භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිට තිබේ. ඔහු භාණ්ඩ ඇනවුම් මත කිලෝ ග්රැම් එකක් මෙරටට ගෙනැවිත් දීමට රුපියල් හාර දහස් පන්සීයක මුදලක් අය කර ගෙන තිබේ.
මෙම ව්‍යාපාරිකයා ඉකුත් 2022 වසරේ දෙසැම්බර් 21 දින රාත්‍රී 07.30 ට පමණ වෑන් රථයක් මගින් මෙසේ මෙරටට ගෙනැවිත් තිබූ භාණ්ඩ තොගය කටුනායක ගුවන් තොටුපළේ සිට රැගෙන යමින් සිටියදී , කටුනායක 18 කණුව ප්‍රදේශයේ දී , ඔහු පසුපසින් තවත් වෑන් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් විසින් ගිනි අවි පෙන්වා බිය කර පැහැර ගෙන ගොස් තිබුණි .
කටුනායක පොලීසිය මේ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදු කර තිබූ අතර එහිදී කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී මෙවැනි භාණ්ඩ තොගයක් අලෙවි කිරීමට සැරසෙන පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු ලැබී ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මෙහිදී අත් අඩංගුවට ගෙන ඇති භාණ්ඩ අතර කැමරා ආම්පන්න, වාහන අමතර කොටස්, රත්තරන් තොගයක් සහ රෑපලාවන්ය උපකරණ සහ භාණ්ඩ තොගයක් ද වේ.
මෙම ව්‍යාපාරිකයාගේ සහායිකාවක ලෙස කටයුතු කළ ව්‍යාපාරික කාන්තාවක් විසින් මෙම මංකොල්ලකෑම සැළසුම් කර මෙහෙයවා ඇති බව කටුනායක පොලීසිය පසුව අනාවරණය කර ගෙන තිබේ .
ඒඅනුව මංකොල්ලකෑම සැළසුම් කළ කාන්තාව ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ද කටුනායක පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ.

