දිඹුලාගල කඳුවැටියෙන් හමු වූ මෙතක් ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල්ලිපිය බවට සැලකෙන සෙල්ලිපිය විනාශ වී යාමට පෙර එය සංරක්ෂණය කර කඩනිමින් මහජනතාවට නැරඹීමේ අවස්ථාව උදාකර දෙන ලෙස ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
දිගින් අඩි පනහකින් සහ උසින් අඩි නවයකින් යුත් මෙම සෙල්ලිපිය පිටපත් කිරීමේ කටයුතු මේ වසරේ ඔක්තෝබර් 26 වෙනිදා ආරම්භ කර දැනට මාස දෙකකට අධික කාලයක්ද ගත වී ඇතත් එහි අර්ථකථනය මෙතෙක් එළි දැක්වීමට සමත් වී නොමැති වීම කනගාටුවට කරුණක් බවද රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ දිඹුලාගල ඉතිහාසය බොහෝ දුරට වෙනස් විය හැකි මෙම අතිශය දුර්ලභ ගණයේ
සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව දෙවන හා තුන්වන සියවසට අයත් බවට පිටපත් කරන ලද පුරාවිද්‍යා නිලධාරීන් පැවසූ බවත්, පවතින අධික වර්ෂාව හේතුවෙන් විශාල මුදලක් හා ශ්‍රමයක් යොදා දින ගණනාවක් පිටපත් කරන ලද එම සෙල්ලිපිය පවතින අධික වර්ෂාපතන හේතුවෙන් දියසෙවල බැදි නැවත වරක් විනාශ වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවද දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් විසිඑක්වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.
දිඹුලාගල කඳුවැටියෙන් සොයාගත් එම සෙල්ලිපිය ආරක්ෂාවට නිලධාරීන් කිහිපදෙනකු යොදා තිබුණද එය ප්‍රමාණවත් නොමැති බවත්, මෙම සෙල්ලිපිය ආරක්ෂා කරමින් ඒ වටා ආරක්ෂක වැටක් සහ ආවරණ වහලක් සවිකර එය නැරඹීමට යාම සදහා ගමන් මාර්ගයක් කඩමින් සකසා දි ඉතා දුර්ලභ මෙම සෙල්ලිපිය ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා අමාත්‍යවරයාගේ සහ අදාල බලධාරීන්ගෙන් අවධානය කඩනිමින් යොමු කරන ලෙසද රාහුලා ලංකාර නාහිමියන් මෙහිදී ඉල්ලීමක් කළහ.
විවිධ සමාජ ජාලා මගින් මෙන්ම මාධ්‍ය මගින් හෙළිදරව් කරන ලද ඉතා දුර්ලභ මෙම සෙල්ලිපිය නැරඹීමට එළැඹෙන වෙසක්, පොසොන්, කාලයන්හිදී දෙස් විදෙස් සංචාරකයන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ගලා එන බවත්, ඉන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත්, රජයටත් විශාල ආදායමක් ලබාගත හැකි බැවින් මෙම සෙල්ලිපිය නැරඹීමට සහ එය ආරක්ෂා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය වැදගත් කටයුත්තක් බවද රාහු ලාලංකාර නාහිමියන් ප්‍රකාශ කළහ.
අප මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්යක්ෂ එම්.ජී. රත්නපල මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්ව මගින් එම සෙල්ලිපියේ පිටපත් කිරීම් කටයුතු නිමවීමෙන් අනතුරුව එම සෙල්ලිපිය සැබෑ අර්ථය සෙවීම සඳහා කොළඹට යවා ඇති බවත්, සෙල්ලිපිය ආරක්ෂා කිරීමට ඒ වටා වැටක් සහ වහලක් සවිකිරීමටත්,එම සෙල්ලිපිය නැරඹීමට ගමන් මාර්ගයක් කඩිනමින් සැකසීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කරමින් පවතින බවයි.
