පළාත් පාලන ඡන්දය මාර්තු මස 9 වැනිදා විමසීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන්ද අනතුරුව නියමිත පරිදි මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් අමාත්‍ය මණ්ඩලය, මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතැයි සදහන් කරමින් ජාතික ජනබලවේගයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
නිදහස් සහ සාධාරණ ලෙස පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ නියමිත දිනට පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවට තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලා සිටිති.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්්‍ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජනබලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ යන මහත්ම මහත්මීන් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා, නීතිපතිවරයා, ඇතුළු 35 දෙනෙකු නම් කොට ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට අදාළ ගසට් නිවේදනය මැතිවරණ කොමිසම නිකුත් කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන 339 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 59කින් හා ස්වාධීන කණ්ඩායම් 329 කින් නාමයෝජනා භාරදුන් බවද ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා 311 ක් භාරදුන් බවද සඳහන් කරන පෙත්සම්කරුවෝ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම පෙබරවාරි මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමටත් මැතිවරණ කොමිසම තීරණය කළ බවද සඳහන් කරති.
ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි 06 වැනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇතැයි අනාවරණය වී ඇතැයිද පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගිය පෙබරවාරි 02 වැනිදා සියලු අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා පමණක් මුදල් වෙන් කරන ලෙසට උපදෙස් ලබාදී ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරුවෝ එවැනි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට නීතිමය බලයක් නොමැති බවත් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පවසති.
තැපැල් ඡන්ද විමසීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් නිකුත් නොකිරීම හේතුවෙන් නියමිත පරිදි තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වූ බවත් එසේ තිබිය පෙබරවාරි 24 වැනිදා මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පාලනය කළ නොහැකි හේතුන් මත නියම කර පරිදි මාර්තු මස 09 වැනිදා පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන බවත් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කළ බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ කෙසේ වෙතත් අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම යෝග්‍ය බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇතත් ඊට අදාළ පියවර කිසිවක් මේ දක්වා ගෙන නැති බවද සඳහන් කරති.
වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියා තුළින් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ නිදහස් සහ සාධාරණ ලෙස පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටිති.