මාලිමා නඩය තමන්ට ආණ්ඩුවක් ඇතැයි සිතන්නේ නම් ඔවුන් මිථවක සිටින බවත් ඒ පිළිබඳව නියම සත්‍ය අනුර කුමාර දිසානායක නායක සහෝදරයා මනාව දන්නා බවත් සර්වජනබලයේ නායක නීතිඥ දිලිත් ජයවීර මහතා පවසයි.
කුලියාපිටිය ආසනයේ සර්වජන සභා පිහිටුවීම වෙනුවෙන් නක්කාවත්ත ප්‍රදේශයේදී ඔහු ඒ බැව් පැවසීය.එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.
“ගමේ ඔබ වැනි ජාතික ජනබලවේගයට උදව් කළ හැම දෙනාම හිතාගෙන ඉන්නේ ඒ අයට ජාජාබ ආණ්ඩුවක් ඇති බවයි. නමුත් ඒක සත්‍ය නොවන බව අනුර සහෝරයා දන්නවා විතරක් නොවෙයි, ඔහු කාට ඕනැ විදිහටද කටයුතු කරන්නෙ කියන වගත් දන්නවා. ඒත් ගමේ අපිත් එක්ක පන්ති පහට ගිය, ජේ. ආර්. මරමු කියලා පෝස්ටර් ගහපු, පාප්ප බාල්දිය උස්සන් ගියපු, තමන් සමගින් එකට හිටපු මිතුරන් පවා ගල්කටස් අරං ගිහින් මරපු, පොලීසිවලට ගහපු අහිංසක කාඩර්වරයා දන්නෙ නැහැ ,මේ මාලිමා හුටපටයෙ ඔවුන්ට මොකද වෙලා තියෙන්නෙ කියලා.
යාචක මානසිකත්වය ජනතාවට දීලා ජනතාවගෙන්ම අසීමිත බදුගහලා දේශපාලනික වාසි වෙනුවෙන් ජනතාවට අස්වැසුම දීලා හරියන්නෙ නැහැ. මිනිස්සු දුප්පත් කරන්න හදන වැඩ නවත්තන්න අවශ්‍යයි. ඒක නවත්තන්න පුලූවන් අපිට පමණයි. ඊට හේතුව අපි හැත්තෑ හත් වසරක නිදහසින් පසුව දේශපාලනය දර්ශනයක් ඇතිව කරන, එම දර්ශනයට පාදක වුණ සියලු කරුණු පිළිබඳ නිවැරදි අවශෝෂණයක් සහිතව කටයුතු කරන ඊට අවශ්‍ය ආර්ථික සවිය ආධ්‍යාත්මික සවිය එකතුකරගනයි අපි මේ ගමන යන්නෙ.
කුටුම්බයක ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන්නෙ නැත්නම් රජය එහි වගකීම ගත යුතුයි. එසේ නොමැතිව රුපියල් පන්දහස බැගින් දීලා පෝලිමේ ඇවිල්ලා ඡන්දය දෙන්න කියන එක නෙවෙයි විය යුත්තෙ. අද මහ භයානක අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙන්නෙ. මම මගේ පළමු පාර්ලිමේන්තු කථාවෙදි ආණ්ඩුවට හදවතින් අවංකව ලෙන්ගතුකමින් යුතුව ජාතික හා මහජන ආරක්ෂාව පිළිබඳව අවදානම් සහගත බව හා ඊට හේතු සියල්ලමත් කියමින් අනතුරු ඇඟෙව්වා.
ආරක්ෂාව ගැන අත්දැකීම් අඩු අය ආරක්ෂක කවුන්සිලයේ වාඩිකරවීම ගැන මම ප්‍රශ්න කළා. ඉතිහාසයේ කිසිම අයුරකින් මහජන ආරක්ෂාව මෙපමණ පහත වැටිලා නැහැ. අපේ තිබුණ සංස්කෘතිය හා සභ්‍යත්වය හා එක්වූ ආධ්‍යාත්මික බැඳියාව තුට්ටුදෙකට දාපු ආණ්ඩු කිසිම දිනක තිබිලා නැහැ. දැං අලුත්ම කථාව කවුරු හෝ ඝාතනය කරපුවහම ඝාතනය වූ කෙනා පාතාලයට සම්බන්ධකමක් දාලා පාතාලයො මැරුවට කමක් නැහැ වගේ එකක් දානවා. අපි ඔක්කොම බයෙන් ඉන්න වෙලා තියෙන්නෙ. අපි පාතාලයො නෙවෙයි. ඒත් අපිට ඉතාම පරිස්සම් වෙන්න වෙලා තියනවා. මේ ඕනැම වෙලාවක පාරෙ වෙඩි තියන පසුබිමක් හැදිලා තියෙන්නෙ”
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර