මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීවරයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පැවසීය.
අනුරාධපුර, විහාරමැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහක දෙදරු පියෙකු වන , ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බළකායේ ලාන්ස් කෝප්රල් දේශප්‍රිය එම්.ජී.එල්. මහතා ඉකුත් 02/11 දින පස්වරු 01.56 ට හදිසි හෘදයාබාධයක් වැළදීමෙන් අනතුරුව මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වා ගෙන යනු ලබන තුන් වන මට්ටමේ රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී තිබේ .
ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර 14 ක සේවා කාළයක් සම්පූර්ණ කර ඇති මෙම ලාන්ස් කෝප්‍රල්වරයා එළඹෙන 2023.අගෝස්තු මස 17 දින මාලි රාජ්‍යයේ සිය රාජකාරී නිමා කර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්ප්‍රදායන්ට අනුකූලව , මාලි රාජ්‍යයේ මිනුස්මා හමුදා මෙහෙයුම් ප්‍රධානී ඩැනියෙලා ක්‍රොස්ලැක් මහත්මියගේ ප්‍රධානත්වයෙන් , එම මූලස්ථානයේ දී 02/16 දින පෙරවරු 09.00 ට මේ පිළිබඳව අවමංගල්‍ය උත්සවයක් පවත්වා තිබේ .
මෙසේ මිය ගොස් ඇති ලාන්ස් කෝප්රල් දේශප්‍රිය මහතාගේ දේහය 02/22 දින සවස 06.00 ට තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත අතර , ඉන්පසුව ඒ පිළිබඳ අවසන් අවමංගල්‍ය කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදා උත්තමාචාර මධ්‍යයේ අනුරාධපුර විහාරමැදවච්චියේ දී පැවැත්වීමට නියමිතය.