මාලදිවයින් මුහුදු සීමාව හරහා ගමන් කරන බහුදින යාත්‍රා සඳහා නව ක්‍රියා පටිපාටියක්
අරාබි මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව යන සහ ධීවර කටයුතු අවසානයේ නැවත ගොඩබිමට පැමිණෙන සියලුම බහුදින ධීවර යාත්‍රා මාලදිවයින් අනන්‍ය ආර්ථික කලාපය (EEZ) හරහා ගමන් කිරීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රියා පටිපාටියක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
මාලදිවයින් රජයේ නීතිරීතිවලට පටහැනිව එරට මුහුදු සීමාවට ඇතුළු වන යාත්‍රා මාලදිවයින් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන අතර එලෙස අත්අඩංගුවට ගන්නා යාත්‍රා නිදහස් කිරීම සඳහා මාලදිවයින් බලධාරීන් විසින් අතිවිශාල දඩ මුදල් පනවනු ලබන බවද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අවධාරණය කළේය.
එම අධික දඩ මුදල් ගෙවීමට සිදුවීම යාත්‍රා හිමිකරුවන්ට දරාගත නොහැකි විශාල මූල්‍යමය පාඩුවක් බවද මෙවැනි නීතිමය අවස්ථාවලදී මැදිහත් වීමට හෝ පෙනී සිටීමට ධීවර දෙපාර්තමේන්තුවට කිසිදු අවස්ථාවක් හිමිවන්නේ නැතැයිද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.
අරාබි මුහුදට යන අවස්ථාවේදී මෙන්ම නැවත ගොඩබිමට පැමිණෙන අවස්ථාව යන අවස්ථා දෙකේදීම අදාළ නව නීතිරීති අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බව ඔහු අවධාරණය කළේය.
නව ක්‍රියා පටිපාටියට අනුව ධීවරයින් අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත. මාලදිවයින් මුහුදු සීමාවට ඇතුලුවීමට අවම වශයෙන් පැය 96කට පෙර, නියමිත අයදුම්පත පුරවා [email protected] සහ [email protected] යන ඊමේල් ලිපිනයන් දෙකටම යොමු කළ යුතුය.
අයදුම්පත සමඟ යාත්‍රාවේ ලියාපදිංචි සහතිකය, පිටත්වීමේ පත්‍රිකාව (Departure Form), කාර්ය මණ්ඩල විස්තර, යාත්‍රාවේ ඡායාරූපයක් සහ ඇතුළු වන හා පිටවන ස්ථාන (Waypoints) සහිත දළ සිතියමක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
මෙම නීතිරීති උල්ලංඝනය කිරීමෙන් සිදුවන මූල්‍යමය හා වෘත්තීයමය හානි වළක්වා ගැනීමට සියලුම යාත්‍රා හිමිකරුවන් සහ ධීවරයින් වගබලා ගත යුතු බව අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
