සූදු නියාමන අධිකාරිය ලබන වසරේ ජූනි 30ට පෙර පිහිටුවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එකඟතාව.
සූදු නියාමන අධිකාරිය පිහිටුවීමට විදේශීය විශේෂඥ දැනුම ලබාගන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
කැසිනෝ සඳහා යොමුවන පිරිසෙන් 60% - 70% අතර ප්‍රමාණයක් මාර්ගගත කැසිනෝ සඳහා යොමු වෙලා - මාර්ගගත කැසිනෝ වලින් බදු අදායමක් ලබාගැනීමේ ක්‍රමයක් තවම නෑ - කාරක සභාවේදී අනාවරණය වෙයි.
සූදු නියාමන අධිකාරිය ලබන වසරේ ජූනි 30ට පෙර පිහිටුවා ලංකාවේ ක්‍රියාත්මක කැසිනෝ ආයතන විධිමත්වම නියාමනය කිරීමේ කාර්ය භාරය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ලබාදුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකඟතාව පලකරන ලදී.
එමෙන්ම එම නියාමන කාර්ය පිළිබඳ විධිමත් දැනුමක් සහිත පිරිසක් අවශ්‍ය බව පෙන්වා දුන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සූදු නියාමන අධිකාරිය පිහිටුවීමට විදේශීය විශේෂඥ දැනුම ලබාගැනීමට කටයුතු කරන ලෙස ද නිර්දේශ කළේය.
එමෙන්ම භෞතිකව රටතුළ පිහිටා ඇති කැසිනෝ ශාලා සඳහා 30% - 40% අතර ප්‍රමාණයක් කැසිනෝ සඳහා යොමුවන අතර 60% - 70% අතර ප්‍රමාණයක් මාර්ගගත කැසිනෝ සඳහා යොමුවන බව කාරක සභාවේදී අනාවරණය විය.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ මාර්ගගත කැසිනෝ සඳහා වන රෙගුලාසි සහ රාමුව සකස් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, සූදු නියාමන අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2025.10.10 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත සම්මත වී ඇතත් සූදු නියාමන අධිකාරිය තවමත් පිහිටුවීමේ ප්‍රමාදය පිළිබඳව විමසා සිටියේය. එහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීහු සූදු නියාමන අධිකාරිය පිහිටුවීමට අදාළ 7 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලය පිහිටුවීම සඳහා නාමයෝජනා ඉල්ලා යාවා ඇති බවත් එම නම් කිරීම් ලැබීමෙන් පසු එම මණ්ඩලය පිහිටුවා ප්‍රධාන විධායක නිලධාරියෙකු ඉන් තෝරා පත්කර ඔවුන් විසින් ඉදිරි කටයුතු සිදුකරන බව පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා අදාළ ක්‍රියාවලියෙන් පසු සූදු නියාමනය අධිකාරිය හැකි ඉක්මනින් ක්‍රියාත්මකවීමේ වැදගත්කම අවධාරණය කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මූල්‍ය කාර්යසාධක බලකාය (Financial Action Task Force – FATF) විසින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය නිර්ක්ෂණයට පැමිණීමට නියමිත බැවින් සූදු නියාමන අධිකාරිය ලබන වසරේ පිහිටුවා වැඩකටයුතු ආරම්භ කිරීමේ වැදගත්කම වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා අවධාරණය කළේය.
මේ වනවිට මාර්ගගත කැසිනෝ විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වීම හා ඉන් රටට ලැබිය යුතු, නමුත් අහිමිවී යන විශාල බදු අදායම පිළිබඳව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. දැනට ශ්‍රී ලංකවේ කැසිනෝ බලපත්‍ර 6ක් නිකුත් කර ඇති නමුත් එම බලපත්‍ර සඳහා මාර්ගගත ආකාරයට කැසිනෝ ක්‍රියාත්මක කිරිම තහනම් කර ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත් දැනට මාර්ගගතව ක්‍රියාත්මක කැසිනෝ වලින් කිසිම බදු අදායමක් රැස්කර නොමැති බව නිලධාරීහු කර සභාවට දැන්වුහ. ඒ සියලු කටයුතු නියාමනය කරමින් අදාළ මාර්ග ගත කැසිනෝ ව්‍යාපාර තුළින්ද බදු අයකරගැනීමේ ක්‍රමවේදයක් මෙම සූදු නියාමන අධිකාරිය හැකි ඉක්මනින් පිහිටුවීම ඔස්සේ අපේක්ෂා කරන බව වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
භෞතිකව රටතුළ පිහිටා ඇති බලපත්‍ර සහිත කැසිනෝ හඳුනාගත හැකි නමුත් මාර්ගගතව සිදු කරනු ලබන සූදු ක්‍රීඩා ක්‍රියාත්මක වන ආකාරය හඳුනාගැනීමේ අපහසුව කාරක සභා සභාපතිවරයා උදාහරණ දක්වමින් පෙන්වා දුන්නේය. කැසිනෝ ශාලාවල සුළු පිරිසක් අදාළ ක්රියාදාමයේ නිරතවන බව පෙන්වා දුන් සභාපවතිවරයා මාර්ගගතව සිදු කරනු ලබන සූදු ක්‍රීඩා සඳහා සහභාගී වන පිරිස ඉතාමත් විශාල වන බවද පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් මීට පෙර මාර්ගගත කැසිනෝ ව්‍යාපාර සිදුකරන පිරිස හඳුනාගැනීම සඳහා ඔවුන්ට ලියාපදිංචි වීමට අවස්ථාවක් දී තිබුන ද එම මාර්ග ගත කැසිනෝ ව්‍යාපාර කිසිවක් ලියාපදිංචි වී නොමැති බවද අනාවරණය විය.
එමෙන්ම මෙම මාර්ගගත කැසිනෝ ව්‍යාපාර හඳුනාගැනීමේ ක්‍රමයක් පවතීද යන්න කාරක සභාව හමුවට කැඳවා සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා නිලධාරීන්ගෙන් කාරක සභා සභාපතිවරයා විමසා සිටියේය. ඒ අනුව අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව එවැනි හැකියාවක් නොමැති බව එම නිලධාරීහු කාරක සභාවට පෙන්වා දුන්හ.
ඒ අනුව මාර්ගගත කැසිනෝ විධිමත් ලෙස නියාමනය කරමින් කටයුතු කිරීම ඔස්සේ විශාල බදු අදායමක් රැස් කර ගතහැකි බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා ඒ සඳහා සූදු නියාමන අධිකාරිය හැකි ඉක්මනින් ක්‍රියාත්මකවීමේ වැදගත්කම නැවත අවධාරණය කළේය.
