මාර්ග සංවර්ධන අධිකාරිය සතු වාහන ඵලදායී ලෙස භාවිත කිරීමකින් තොරව අධිවේගී මාර්ගයන්හි රාජකාරි අවශ්‍යතා සඳහා 2022 වර්ෂයේ අප්‍රේල් 15 වැනි දා සිට 2023 දෙසැම්බර් 31 කාලය තුළ රුපියල් මිලියන 281.35 මුදලක් වැය කර අධිකාරිය විසින් බාහිර ආයතනවලින් කුලී පදනම මත වාහන ලබා ගෙන ඇති බව 2024-02-02 දින ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
මාර්ග සංවර්ධන අධිකාරිය සතු රුපියල් මිලියන 228.06 ක් වූ වාහන 19 ක් මහා මාර්ග අමාත්‍යාංශය හා අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලබා දී තිබුණි. එමෙන් ම රුපියල් මිලියන 83.05 ක් වටිනා වාහන 11 ක් මඟ නැඟුම ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ සමාගම් වෙත ලබා දී තිබූ බව එම විගණන වාර්තාවේ සඳහන් වේ. අධිකාරිය සතු භාවිත නොකරන වාහන ඵලදායීව භාවිත කිරීම හා ඒ තුළින් පිරිවැය අඩු කර ගැනීමට කටයුතු කළ යුතු බව විගණන මඟින් නිර්දේශ කොට ඇත.
මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට පිළිතුරු වශයෙන් සඳහන් කොට ඇත්තේ අධිවේගී මාර්ග පද්ධතියේ ම මෙහෙයුම් හා නඩත්තු කටයුතු දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර එම මෙහෙයුම් හා නඩත්තු කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා මෙම වාහන කුලී පදනම මත ලබා ගෙන ඇති බවයි.