මාතර මහෙස්ත්රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ ගිනි අවි සොරාගෙන සංවිධානාත්මක අපරාධකරුවන් වෙත මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ අධිකරණයේ බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනකු ඇතුළු පස් දෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.
එම ගිනි අවියක් මිලදී ගත් බවට අනාවරණය වූ සැකකරු පොදුජන පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්රීවරයෙක් ගේ පුත්රයකු බව පොලිසිය සඳහන් කරයි.
එම සැකකරුවන් එලෙස විකුණා තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ ටී 56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන ඇත.
මාතර මහෙස්ත්රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් මත්කුඩු මිලිගෑම් 15970 ක් අඩංගුව තිබූ නඩු බඩු පාර්සල් දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මහේස්ත්රාත් තුමාගේ නියෝග මත එම අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා විසින් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම ගිනි අවි ජාවාරමේ සුලමුල අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියා කීය.
කැකණදුර, තල්පාවිල හා බෝගහවත්ත ප්රදේශයේ පදිංචි බහුකාර්ය සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන දින හතක කාලයක් රැදවුම් නියෝග ලබාගෙන සිදු කළ දීර්ඝ ප්රශ්න කිරීමේ දී ජාවාරමට සම්බන්ධ තවත් බහු කාර්ය බහුකාර්ය සංවර්ධන නිලධාරියෙකු මාතර තුඩාව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව එම සැකකරුවන් ගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී ඔවුන් විසින් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය වෙත භාර දී තිබූ රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සොරාගෙන රුපියල් (280000/= ) රුපියල් දෙලක්ෂ දෙලක්ෂ අසු දහසක මුදලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් අනතුරුව එය මුදලට අලෙවි කිරීම සහ ආධාර අනුබල දීමේ වරදට තවත් පුද්ගලයකු මාතර තුඩාව ප්රදේශයේ දි අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි
අනතුරුව එම සැකකරුවන් සිව්දෙනා ගෙන් තවදුරටත් දීර්ඝ ලෙස ප්රශ්න කිරීමේදී එම ගිනි අවිය සන්තකයේ තබාගෙන තබාගෙන සිටි මාතර පාලටුව මාලිම්බඩ ප්රදේශයේ පදිංචි තැබෑරුම් හිමිකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මිට මාස කීපයකට ඉහතදී දික්වැල්ල පොලිස් වසමේ සිදුකරන ලද ඝාතනයක් කට යොදාගත් ටී ටී 56 ගිනි අවිය ද මාතර මහේස්ත්රාත් අධිකරණයේ නඩු බඩු කාමරයෙන් සොරා ගත් එකක් බවට මේ වන වනවිට අනාවරණය වී ඇත
එම ගිනි අවිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගෙන අගෝස්තු 18 වෙනි දින දික්වැල්ල පොලිසිය ස්ථානය වෙත භාරදී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පස්දෙනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර , ගිණි අවි ලබා දුන් පුද්ගලයන් කවරෙක් ද ? හා ඒවා යොදාගනිමින් සිදුකල අපරාධ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව මාතර ප්රදේශයේ බාර ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.