මාතර බන්ධනාගාරයෙහි ඇතිවූ නොසන්සුන්තාව අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැඳවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05ක් හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධනාගාරයේ තැන තැන ඉතා රහසිගතව සඟවා තිබියදී සොයා ගෙන ඇති බව මාතර පොලීසිය අද (05දා) මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
බන්ධනාගරයෙහි පොළොව සහ බිත්ති හාරා ඒවා සඟවා තිබී ඇති අතර බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂක අංශ එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමක දී එම දේපොළ සොයා ගෙන ඇත.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කල රැඳවියන් දෙදෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.
මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් රැඳවියන් 21 දෙනෙකු හඳුනා ගෙන ඇති බවත් ඔවුන් ඉදිරියේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පොලීසිය කියයි.
තවද බන්ධනාගාරයේ ගබඩා කාමරය කඩා සොරකම් කල මුදල් වලින් රුපියල් දස දහසක් ද සොයා ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.
මාතර බන්ධනාගාරයේ සිටි රැදවියන් තිදෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරී කිරීමට විරෝධය පල කරමින් එහි රැදවියන් වාට්ටුවල ඉබි අගුළු කඩා පිටතට පැමිණ පසුගියදා බන්ධනාගාරයේ පාලනය ඔවුන් අතට ගෙන තිබුණි.
ඒ අනුව එහි සිටි 500 කට අධික සියලුම රැදවියන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා මාතර බන්ධනාගාරය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි.
එලෙස වසා දමා ඇති මාතර බන්ධනාගාරය එහි නිලධාරීන් හා ආරක්ෂක අංශ එක්ව නවීන තාක්ෂණය උපකරණ යොදා ගෙන අවස්ථා දෙකකදී සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කල අතර ඒවායෙහි දී අදාල ජංගම දුරකථන හා දේපොල සොයා ගනු ලැබීය.
යම් පුද්ගලයකු බන්ධනාගාර ගත කරන අවස්ථාවේ ඔහු සතු මුදල්,රන් ආභරණ හා ජංගම දුරකතන ඇතුළු දේපල බන්ධනාගාර නිලධාරීන් විසින් භාරයට ගෙන ඔහුට නැවත ඇප හෝ නිදහස ලබා දෙන තෙක් එම දේපොල ගබඩා කාමරය තුල තබන බව කියති.
ක්රිෂාන් ජීවක ජයරුක්