මාතර කොටු දොරටුව ආශ්‍රිතව සිදු කල කැණීම් වලදී ලන්දේසි යුගයට අයත් බවට සැක කෙරෙන මාර්ගයේ කොටසක් ඇතුළු වැදගත් සාක්ෂී රැසක් හමු වු බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් නිලාන් කුරේ මහතා අද (17) මාතර දී පැවසීය.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව මේ වන විට මාතර කොටුව ආශ්‍රිතව සිදු කරන කැණීම් කටයුතු නිරික්ෂණය කිරීම සදහා ඒ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබුණි.
මෙම කැණීම් කටයුතු හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මාතර කොටු දොරකඩ සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන අතර ඒ සදහා ප්‍රවේශ මාර්ගය ලෙස වෙරළ පාර භාවිතා කිරීමට ජනතාවට උපදෙස් ලබා දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙසේද කීය.
“මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කැණීම් සිදු කර පුරා විද්‍යා වශයෙන් වැදගත් සාක්ෂී හදුනා ගෙන සංරක්ෂණය කිරිමේ ව්‍යාපෘතියක් මේ දිනවල මාතර කොටුව ආශ්‍රිතව සිදු කරනවා.මාතර කොටු දොරකඩ අසල සිදු කල කැණීම් වලදී ලන්දේසී අවධියේ තිබු බවට සැලකිය හැකි පොලොව මට්ටමේ කලු ගල් මතු වී තිබෙනවා.දැනට පවතින තාර පොලොවට අඩි එක හමාරක් දෙකක් යටින් තමයි ලන්දේසී අවදියේ පාර පැවත තිබෙන්නේ.එය දැනට තියෙන මට්ටමට වඩා පහලින් තිබෙන නිසා සංරක්ෂණය කිරිමේදී ප්‍රායෝගික ගැටලු මතු වෙනවා.එහෙම වුනොත් පාර පාත් කර ගන්න සිදු වෙනවා.ඒ පිළිබඳව මාතර මහ නගර සභාව ,පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන සමග අපි සාකච්ඡා පවත්වනවා.
මේ කැණීම් ආරම්භ කලා පමණයි.1700 ගණන් හෝ 1800 මුල් අවදියේ ලන්දේසී යුගයේ ලක්ෂණ බවට අපි දැනට විශ්වාස කරනවා.කොටුවක් කියන්නේ යුධමය වශයෙන් වැදගත් තැනක්.යුධ හමුදා කදවුර ආදිය මේ අසල පිහිටා තියෙන්න එයත් හේතුවක් වෙන්න පුලුවන්.ඉදිරියේ සිදු කරන කැණීම් වලදී වැදගත් තොරතුරු රැසක් හෙලි කර ගන්න පුලුවන් වේවි.” මාතර මහ නගර සභාවේ පුරපති ජයන්ත පතිරණ මහතා පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
