මාක්ස්පුත්‍රයින්ගෙන් බුද්ධපුත්‍රයින් බේරා ගැනීමට සමස්ත සමාජයම පෙරට පැමිණිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (22ා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාලය පිලිබඳ මාධ්‍ය ඉදිරියේ දිග හැරෙන කතාව අපි බෞද්ධයින් ලෙස බලාගෙන ඉන්නේ ඉමහත් වේදනාවකින්. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ලෙස පැවසුවත් ඒ විශ්ව විද්‍යාලයේ නවක වදය ලෙස ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට අරක්කු බලහත්කාරයෙන් පොවන එක මත්ද්‍රව්‍ය බලහත්කාරයෙන් පොවන එක ලිංගික හිරිහැර කරන එක තිත්ත ඇත්තක්.
ඒ නවක වදයන්ට ගොදුරු වුණු භික්ෂුන් වහන්සේලා මේ ගැන අපව දැනුම්වත් කලා. ඒ නවක වදයන් ලෙස කරණ අමාණුෂික ක්‍රියාවන් ගැන කලකිරිලා උපාධි අත්හැරපු භික්ෂුන් වහන්සේලා අපව දැනුම්වත් කලා. මේ පිලිබඳ කතා කරන අයට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිතා කරලා දැඩි මඩ ප්‍රහාරයක් එල්ල කරන නිසා බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන්නේ නෑ.
නමුත් ශාසනයේ නාමයෙන් අපි මේ ගැන සමාජය දැනුම්වත් කරමින් මෙය නවත්වා ගැනීම සඳහා පෙරට පැමිණිය යුතු කාලය පැමිණ තියෙනවා. අද සිට මටත් දැඩි ප්‍රහාරයක් එල්ල කරාවි. අපි කොටි ත්‍රස්තවාදය එක්ක හැප්පුනේ මෙවැනිම අවලාද අපවාද ලබමින්. ඒ නිසා ශාසනය වෙනුවෙන් ඒ මඩ ප්‍රරහාරවලට මුහුණදීමට මම සූදානම්.
භික්ෂුන් වහන්සේලා පෘතග්ජනයින් වශයෙන් මතට යොමු වෙන්න පුළුවන්. ඒක අනුමත කරන්න බැරි වුණත් විය හැකි දෙයක්. අනුකම්පාවෙන් බැලිය යුතු දෙයක්. නමුත් තරුණ භික්ෂුවකට මත්පැන් මත්ද්‍රව්‍ය බලහත්කාරයෙන් ලබා දීලා ඒකට ඇබ්බැහි කිරීමට කටයුතු කරනව නම් ඒක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවත් කරන්නේ නැති අමානුෂික වැඩක්.
ඒ වගේම තමන් නාඳුනන අහිංසක තරුණ භික්ෂුවකට අමානුෂික ලිංගික වද හිංසා කිරීමට භික්ෂුවකට නොවේ හොඳ සිහියෙන් ඉන්නා ගිහියෙකුටවත් කරන්න පුළුවන් දෙයක් නොවේ. අද මේ විශ්ව විද්‍යාලවල භික්ෂු සංගම්වල බලය අල්ලා ගෙන ඉන්නේ සතුරාටත් මෛත්‍රි කරන නොපෙනෙන සතාටත් කරුණාව දක්වන බුද්ධ පුත්‍රයින් නොවේ. “ප්‍රතිගාමින් භංග වේවා” කියන වෛරී මානසිකත්වයකින් ඉන්නා මාක්ස්පුත්‍රයින්. ඒ නිසා මේ මාක්ස් පුත්‍රයන්ගෙන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන සැබෑ බුද්ධ පුත්‍රයන් බේරා ගැනීම ශාසනයට ආදරය කරන සියලු දෙනාගේම යුතුකමක් කියන එක අප සිහිපත් කරනවා.
අද බුදුදහම අතහැරලා මාක්ස්වාදය වැළඳ ගන්නා මේ තරුණ භික්ෂුන් වහන්සේලා නොදන්නා කරුණ වෙන්නේ බුදු දහම එහි පවතින පරම සත්‍යය නිසාම වසර 2,600ක් නොනැසි පැවතුනත් මාක්ස්වාදය පැවතුනේ වසර 200ක් විතරයි කියන තිත්ත ඇත්ත. මේ නිසා විශ්වවිද්‍යාල වල බලය අත්පත් කරගෙන සිටින මාක්ස්පුත්‍රයින්ගෙන් බුද්ධපුත්‍රයින් බේරා ගැනීමට පෙරට ඒම මේ රටේ ශාසනයට ආදරය කරන සියළුම දෙනාගේ යුතුකමක්. සමස්ත සමාජයම ඒ සඳහා පෙරට පැමිණිය යුතු කාලය උදාවී තිබෙනවා."