"මහින්ද දේශප්‍රිය මහත්තයා ඔබ සැබෑ සමාජවාදියෙක් නම් ඔබ සැබැවින්ම රටට ආදරය කරනවා නම් ඔබ සැබැවින්ම මැතිවරණ වෙලාවට පවත්වන මතයේ සිටින පුද්ගලයෙක් නම් කරුණාකරලා මැතිවරණ කල් දමන්නට නිර්මාණය කරපු තනතුරෙන් ඔබ ඉල්ලා අස්වෙන්න. රජයට අභියෝගයක් කරනවා පුලුවන් නම් මැතිවරණයක් තබන්න.මේ රටේ ලක්ෂ 220 ක් ජනතාව බලාගෙන ඉන්නවා වර්තමාන ආණ්ඩුව පිළිබඳව ජනතා තීන්දුව ලබා දෙන්න "යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර තඹුත්තේගමදී පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, සමඟි ජන බල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කළාවැව ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (05) අමතමින්ය, සමඟී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම පිහිටි ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා හිටපු අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක,විජිත් විජිතමුණි සොයිසා, ඉමිතියාස් බාකීර් මාකර්,පී හැරිසන්, රාජිත සේනාරත්න, චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ඇතුලු පිරිසක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ ගමගේ මහතා ඇතුලු පිරිසක් එක්විය.
"විනාශකාරී තත්වයකට රට ඇද වට්ටවලා කීපදෙනෙකුගේ කිහිළිකරු වලින් රට විනාශ කරපු රාජපක්ෂලා හදනවා ආපහු නැගිටින්න, නැවත ආරම්භ කරනවා. අපි එක දෙයක් කියන්න කැමතියි, ලඟදීම පැවැත්වෙන පළමුවැනි මැතිවරණයෙන් රටේ ජනතාව රාජපක්ෂලාට හොඳ පණිවිඩයක් ලබා දෙන්න බලාගෙන ඉන්නවා.
රාජපක්ෂලා රට විනාශ කරලා අළු පිසදමලා නැගී සිටින්න හදන කොට වර්ථමාන ජනාධිපතිවරයා රාජපක්ෂලාට හුලං ගහනවා.රාජපක්ෂලාට ඔක්සිජන් දෙනවා, මම කියන්න කැමතියි, මේ අවස්ථාවේ රජයට අභියෝගයක් කරනවා පුලුවන් නම් මැතිවරණයක් තබන්න, මේ රටේ ලක්ෂ 220 ක් ජනතාව බලාගෙන ඉන්නවා වර්ථමාන ආණ්ඩුව පිළිබඳව ජනතා තීන්දුව ලබා දෙන්න.
අපිට අහන්නට ලැබෙනවා,රජය සැලසුම් දියත් කරමින් සිටිනවාලු පළාත් පාලන ඡන්දය, ඉදිරියට එන ඡන්ද ටික විවිධ උපක්‍රම තුළින් කල් දමන්න. ඒකේ පළමු වෙඩි මුරය තමයි, මහින්ද දේශප්‍රිය හිටපු මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව අග්රඅමාත්යයවරයා පත් කරලා තියෙනවා සීමා නිර්ණය කමිටුවක සභාපතිකම් දරන්න.
ඒකේ සරල තේරුම තමයි මැතිවරණය කල් දමලා, සීමානිර්ණය කිරීම එළියට පෙන්නලා, මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවට, ජනතා මතය ඉස්මතු කරන්න තිබෙන අවස්ථාව අහිමි කිරීමයි, අපි මේ උප්පරවැට්ටි වලට රැවටෙන්නේ නෑ, අපි මේ දේශපාලන සූදුවත් එක්ක එකඟ නෑ.
අපි පැහැදිලිවම කියනවා මහින්ද දේශප්‍රිය මහත්තයාට ඔබ සැබෑ සමාජවාදියෙක් නම් ඔබ සැබැවින්ම රටට ආදරය කරනවා නම් ඔබ සැබැවින්ම මැතිවරණ වෙලාවට පවත්වන මතයේ සිටින පුද්ගලයෙක් නම් කරුණාකරලා මැතිවරණ කල් දමන්නට නිර්මාණය කරපු මැතිවරණ සිතියම හකුළාගන්නට නිර්මාණය කරපු මෙන්න මේ තනතුරෙන් ඔබ ඉල්ලා අස්වෙන්න, ඒකයි අපේ යෝජනාව.
ඔබ මේ තනතුරේ ඉන්නවා කියන්නේ මෙවන් සීමා නිර්ණය කිරීමේ කමිටුවකට සහයෝගය ලබා දෙනවා කියන්නේ, මැතිවරණ කල් දැමීමේ දේශපාලන කුමන්ත්රණයේ හවුල්කරුවෙක් බවට පත් වීමයි, රටේ ජනතාවට අපි පණිවිඩයක් දෙනවා, සූදානම් වෙන්න, අපි ඉඩ තියන්නේ නෑ, පළාත් පාලන මැතිවරණය හකුලාගන්නා කිසිම උත්සහයකට අපි ඉඩ තියන්නේ නෑ ,පොදු ජනතාවත් එක්ක මහ පාරට බැහැලා ජනතාව අවශ්‍යයි කියන මැතිවරණය දිනා ගන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා" යැයි පැවසීය.
තිසර සමල් සෝමරත්න
