තමන් සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය සතියේ පැවති බවට වෙබ් අඩවික පළවූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තමන් පසුගිය සතියේ දිවයිනෙන් බැහැරව සිටි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (10) පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙක් ඇසූ පැණයකට පිළිතුරු දෙමිනි.
ප්රශ්නය
ඔබ සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අතර හමුවක් පසුගිය සතියේ පැවතුණා ද?
පිළිතුර
ඒක විකිණෙන්නේ නැති පත්තරයක් විකුණා ගැනීම සඳහා ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියූ පට්ටපල් බොරුවක්. වසරකට ආසන්න කාලයක් මහින්ද රාජපක්ෂ මහතා හමුවෙලා ඇමතිධූර නෙමෙයි කිසිම ආකාරයක සාකච්ඡාවක් මම පවත්වා නැහැ.
මෙහි වාර්තා කරලා තිබ්බේ පසුගිය සතියේ කියලා. පසුගිය සතියේ බලශක්තිය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක දේශණයක් කිරීම සඳහා මම විදේශ ගත වෙලයි හිටියේ. ඉතින් බොරුව ලියද්දි අඩු ගානේ මම ලංකාවේ ඉන්නවද නැද්ද කියලවත් හොයන්නේ නැතුවයි ලියලා තිබ්බේ.
පත්තර වල, වෙබ් අඩවිවල බොරු ලියනවා. මේ වගේ අතේ පත්තුවෙන බොරු ලියන්නේ නම් මේ පුවත්පතේ වෙබ් අඩවිය විතරයි. මම පුවත්පතේ නම කිව්වොත් විකිණෙන්න නැති පත්තරේට තවත් ප්‍රසිද්ධියක් ලැබෙනවා. එහෙම පත්තරයක් එහෙම වෙබ් අඩවියක් තියෙනවා කියලා මේ රටේ ජනතාවට මං ලවා කියවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මේ වගේ බොරුවක් ලිව්වා වෙන්න පුලුවන්. ප්‍රවෘත්තිය පළ වූ වහාම එය නිවැරදි කරන්න නිවැරදි කිරීම කරන්නෙ නැත්නම් නීති මඟින් කටයුතු කරනවා කියලා කියලා එම වෙබ් අඩවියට මා විසින් විද්‍යුත් ලිපියක් යවලා දැනුම් දුන්නා.
හිරුණිකා මැතිනියටත් මා ගැන බොරුවක් කියපු නිසා කොළඹ දිසා අධිකරණය මිලියන පන්සීයයක් ගෙවන්න කියලා නියම කලා. මම රුපියල් මිලියන 500න් රුපියලක්වත් එයාගෙන් ගත්තේ නැහැ. මට අවශ්‍ය වූයේ මගේ නිවැරදිභාවය ඔප්පු කර ගන්නයි.
මාත් නීතීඥයෙක් නිසා ලංකාවේ සිටින විශිෂ්ටතම ජනාධිපති නීතීඥයින් මා වෙනුවෙන් නොමිලේම පෙනී සිටිනවා. ඒ නිසා මට නඩු දැමීම එතරම් දෙයක් නෙමෙයි. මම එතුමාට අවස්ථාව දීලා තියෙනවා මේ දේ නිවැරදි කරන්න. නිවැරදි නොකලොත් අනිවාර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.