වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 09 ක් අතරින් ව්‍යාපෘති 07 ක ප්‍රගතිය 0%සිට 13.6% ක අවම මට්ටමකට පැවති බව, ජාතික විගණනය මගින් අනාවරණය කර ඇතැයි ජාතික විගණන අංශයේ නිලධාරියෙකු සමගඉකුත් 12දින කළ විමසීමක දී අනාවරණය විය.
මෙම ව්‍යාපෘතිය සඳහා 2022 මැයි මාසය වන විට රු. මිලියන 203.159ක වියදමක් දරා තිබූ බව විගණනය මගින් පෙන්වා දෙයි. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පැවති දුර්වල කළමනාකරණය හේතුවෙන් සැලසුම් කළ පරිදි නිම කිරීමකින් තොරව එකී ව්‍යාපෘති අතහැර දැමීමට සිදුව ඇත.
මෙකී ව්‍යාපෘති 9 සඳහා ඇස්තමේන්තුගත වටිනාකම රු. මිලියන 333,569 ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 690 ක් බව සඳහන් වේ. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියකින් නැවත ක්‍රමෝපායකරණය හා කඩිනම් කිරීමේ නිර්දේශ ප්‍රකාරව අග්‍රමාත්‍ය ලේකම්වරයා විසින් 2023 ජනවාරි 13 වැනි දා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබූ ලිපියට අනුව 2023 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මෙකී ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව අගෝස්තු මස 04 වැනි දින නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
මෙම ව්‍යාපෘති අතරින් තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය, දෙවටගල්ල හා කුඩා විලච්චිය වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, නිල්වලා නැවත හැරවීමේ ව්‍යාපෘතිය සහ කුඹුක්කන් ඔය බහු කාර්ය ව්‍යාපෘතිය යන ව්‍යාපෘති සඳහා මෙතෙක් දරා ඇති පිරි වැයෙන් මේ දක්වා ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොලැබුණු බව විගණන වාර්තාව මගින් අනාවරණය වේ.