මහරගම නගර සභා පරිශ්රයට අද (17දා) උදෑසන ප්රදේශවාසීන් පිරිසක් පැමිණ විරෝධතාවයක් පවත්වා පසුව ඔවුන් මාසික මහා සභාව පැවති සභා ගැබ තුළට ඇතුළු වීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය කැඳවීමට මහරගම නගර සභාවේ ලේකම් වරයා පියවර ගෙන තිබුණි.
මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක් රුවන් මහතා හිටපු සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මියට පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින් කාන්තාවන් පිරිසක් පැමිණ විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක් පැවැත්විය.
පසුව එම පිරිස නගර සභා ගොඩනැඟිල්ලට ඇතුළු වීමට යාමේදී පොලීසිය මැදිහත් වී ඔවුන් ආපසු හරවා යැවීමට පියවර ගත් අතර එහි සිටි එක් කාන්තාවක් බලහත්කාරයෙන් ඇතුළුවීමට යන්නේ යැයි පවසා සමගි ජන බලවේගයේ රුවන් ජයසිංහ මන්ත්රීවරයා ඊට විරෝධය පළ කිරීමට යාමත් සමග විරෝධතාවට සහාය දැක් වූ මන්ත්රීවරුන් පිරිසක් හා උණුසුම් තත්වයක් හට ගැණිනි.
එහිදී සභා ගැලරියට ඇතුළු වීමට ගිය කාන්තාව සමග උප සභාපතිවරයා ද වචන හුවමාරුවක පැටලුණි.
මේ අතරතුර දී උප සභාපති සුනිල් පියරත්න මහතාගේ ප්රධානත්වයෙන් මහා සභා රැස්වීම ආරම්භ කළ ද ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් විනාඩි හතළිස් පහකට සභාව කල්තැබීමට උප සභාපති වරයාට සිදුවිය.
මෙම උණුසුම් තත්වය පාලනය කිරීම සඳහා නගර සභා පරිශ්රයට පොලිසිය කැඳවීමට ලේකම්වරයා පියවර ගෙන තිබූ අතර එහිදී පොලීසිය , කාන්ති කොඩිකාර මන්ත්රී තුමිය හා ලේකම්වරයා සමග සාකච්ඡා කොට තත්වය පාලනය කිරීමට පියවර ගැනිනි.
පසුව සභාපති ටිරාජ් ලක් රුවන් මහතාගේ ප්රධානත්වයෙන් සභා රැස්වීම ආරම්භ කළ ද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් පිරිසක් සභාපතිවරයාට විරෝධය පළ කරමින් සභාව අතරතුරදී සභා ගැබෙන් නික්ම ගියේය.
මන්ත්රීවරුන් සභාව අතරතුරදී සභා ගැබෙන් එසේ නික්ම ගියේ තුන්වන මහා සභා රැස්වීම වන අතර සභාපති වරයා විපක්ෂය මන්ත්රීවරුන්ගේ හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් පිරිසකගේ සහාය ඇතිව සභාවේ කටයුතු ඉදිරියට ගෙන ගියේය.
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න


