මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට සමත්වී තිබෙනවා. ඔහු නමින් කවිඳු හිම්සර ගමගේ (18) වේ. එම විදුහලේ 13 ශ්‍රේණියේ තාක්ෂණ අංශයේ දැනට ඔහු ඉගෙනුම ලබන අතර , පදිංචිය පිළියන්දල හොන්නන්තර ප්රදේශයේය.
මෙම මෝටර් රථය කවිදු හිම්සර ගමගේ අධ්‍යාපනය ලබන මහරගම මධ්‍ය මහා විද්‍යාලයට පළමුවරට රැගෙනවිත් විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් මාපියන් ඇතුළු පිරිසකගේ ප්‍රදර්ශනයට අද (26දා) ඉදිරිපත් කර තිබු අතර එහිදී කවිඳු හිම්සර සිසුවා සිදුකළ මෙම නිර්මාණය ඇගයීමට විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදී.
එහිදී තම නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් කවිඳු හිම්සර ගමගේ සිසුවා මෙසේ පැවසීය.
මට දැන් අවුරුදු 18යි. අවුරුදු 16 දි තමයි මම මේ නිර්මාණය ආරම්භ කළේ. ඒ සදහා ලොකු සහයක් ලැබුනා කොරෝනා නිවාඩුව. ඒ කාලය ගෙදර ඉන්නකොට තමයි මට හිතුණෙ මේ නිර්මාණය කරන්න ඕනෙ කියලා. මෙහිදී මම නිර්මාණය කළේ ෆෝමියුලා වර්ගයේ මෝටර් රථයකට සමාන මෝටර් රථයක් .
ඒ අනුව මම බෝතල් පත්තර කඩ වලට ගිහිල්ලා ඉවත දමන අබලි ද්‍රව්‍ය ගෙදරට ගෙනල්ලා කෑල්ලෙන් කෑල්ල පාස්සලා මේ වැඩේ පටන් ගත්තා. මේකෙ වෑල්ඩින් සහ වයරින් සියල්ල මම තනියම කළේ. මෝටර් රථයට සවි කරපු එන්ජිම යතුරුපැදියකින් ඉවත් කළ එන්ජිමක්. එයත් ගරාජයකින් ගත්තෙ.
මේ වැඩේ ලේසි උනේ නෑ .ඒක කරගෙන යනකොට මට මුදල් අවශ්‍ය වුණා. නමුත් ඒ සදහා අපිට වත්කමක් තිබුණේ නැහැ. මගේ තාත්තා ත්‍රීවිල් රස්සාවෙන් ජීවනෝපාය සලසා ගන්න කෙනෙක්.තාත්තගෙන් ලැබෙන කීයක් හරි මේකට වියදම් කරලා තව සල්ලි ඕන වුණු හැම වෙලාවෙම මම කුලී වැඩවලට ගිහිල්ලා ලැබෙන මුදල් වියදම් කරලා තමයි මේක කලේ . මේ සඳහා මට රුපියල් ලක්ෂ දෙකක් පමණ මුදලක් වැය වෙලා තියෙනවා.
මේ වාහනේ පෙට්රල්වලින් දුවන්නෙ . පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් පහලොවක් පමණ ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම පැයට කිලෝමීටර් 60 ක 70 වේගයෙන් මේ යන්නත් පුළුවන්.
මේකට අමතරව මම තව මැෂින් එකක් හදනවා .ඒකෙ වැඩ සියයට පනහක් පමණ දැන් ඉවරයි . ඒකෙන් කරන්නේ පෙට්ට්‍රල් වලින් දුවන වාහනයක් ජලය භාවිතා කොට ධාවනය කිරීමට පහසුකම් සැලසීමයි .ඒ සදහා පහසුකම් නොමැති වීම තමයි මට තියෙන ලොකුම ගැටලුව ඒ නිසා මම ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගෙ අවධානය යොමු වෙලා මට උදව් කරන්න කියලා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.එලෙස උදව් ලැබෙනවා නමි මෙවන් නිර්මාණ තවදුරටත් කරන්න පුළුවන් .
මේ සඳහා මට උදව් කළ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.
තම පාසලේ ශිෂ්‍යයකු සිදුකළ නිර්මාණය පිළිබඳව මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි එන්.ඩී.සී.ජයංගනී මහත්මිය මෙසේ කීවාය.
13 ශ්‍රේණියේ තාක්ෂණය විෂය හදාරන සිසුවකු තම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා මෙලෙස මෝටර් රථයක් නිර්මාණය කර තිබෙනවා .ඔහු මේ නිර්මාණය කර තිබෙන්නේ කොරෝනා නිසා පාසල් නිවාඩු දුන්නු කාලයේදී . තමන් විසින්ම උපකරණ සොයාගෙන ස්වෝත්සාහයෙන් මේ කටයුත්ත කර තිබෙන්නෙ. එම මෝටර් රථය ඉතා සාර්ථකව ධාවනය කිරීමේ හැකියාවත් තියෙනවා. එවන් දක්ෂතාවයක් සිදු කළ පාසල් සිසුවාගේ දක්ෂතාවය අගයකිරිම අපි කාගේත් යුතුකමක්.
ඒ නිසා මේ දරුවාගේ හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වි ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාවට මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි එන්.ඩී.සී. ජයංගනී , නියෝජ්‍ය විදුහල්පති ජී.ජී.එස්.සංජීව , උසස් පෙළ අංශ භාර ආචාර්ය චානක හේමකුමාර, පන්තිභාර ගයාන් සුදසිංහ , මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය , දෙමාපියන් සිසු දරු දැරියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න