මහනුවර විදුලිය සියයට 90 ක් හා ජලය සියයට 100 ක් සම්පුර්ණ්ණයි
‘දිට්වා‘ සුළි කුණාටුවෙන් වැඩිම බලපෑම එල්ල වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ එදිනෙදා කටයුතු යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීම මේ වන විට යුහුසුළුව සිදු කරමින් පවතින බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ මේ වන විට දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ගවලින් මාර්ග දෙකක් හැර අනෙකුත් මාර්ග සියල්ල වාහන ගමනාගමනයට විවෘත කර ඇති බවයි. නාවලපිටිය ගම්පොල මාර්ගය සහ පන්විල කබරගල මාර්ගය තවමත් විවෘත කර නොමැති බවත් නාවලපිටිය ගම්පොල මාර්ගය 14 සවස වන විට විවෘත කිරීම සඳහා උත්සාහ ගනිමින් සිටින බවත් රණවිර මහතා කීය.
විදුලිය සියයට 90 ක් ද ජල සම්පත් මණ්ඩලය මගින් ලබා දෙනු ලබන ජලය සියයට සීයක්ද මේ වන විට සම්පුර්ණ කර ඇති බවත් ඒ මහතා කීය.
මහනවර දිස්ත්‍රික්කයේ පවුල් 54,988 ක ට අයත් පුද්ගලයින් 1,89,265 දෙනෙකු දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර පුද්ගල මරණ 240 සහ අතුරුදහන් වීම් 75 ක් වාර්තා වී ඇති බවත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් ලබා ගත් තොරතුරුවලින් හෙළි වන බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා කීය.
මෙම ආපදාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 20,155 ක පුද්ගලයින් 70,282 ක් අවතැන් වී ඇති බවත් ඔවුන්ගෙන් පවුල් 6,097 ක පුද්ගලයින් 21,356 ක් සුරක්ෂා මධ්‍යස්ථාන 261 ක සඳවා ඇති බවත් රණවීර මහතා තව දුරටත් කීය.
එයට අමතරව පවුල් 12,974 ක පුද්ගලයින් 45,732 කු ඥාති නිවෙස්වල පදිංචිව සිටින බවත් ඔහු කීය. පූර්ණ නිවාස හානි 2,263 ක් සහ අර්ධ නිවාස හානි 14,735 ක් වාර්තා වී ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තව දුරටත් කියයි.
මෙම ආපදාව හේතුවෙන් මුළු දිස්ත්‍රික්කයටම බලපෑම් එල්ල වු බවත් විදුලිය ජලය නොමැති වීම මත සියලු පිරිස් පීඩාවට පත් වූ බවත් මේ වන විට එ් සියලු අංශ යථා තත්වයට පත් කරමින් පවතින බවත් නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් කීය.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
