මහනුවර මහ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණ හතරක පිහිටි කඩ කාමර 31 කින් කඩ කුලී අය කිරීමේදී ව්‍යාජ ලේඛන සහ වෙනත් කූඨ ක්‍රම උපායන් මගින් රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත්දහස් හයසීයක (8277600) මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට විගණන විමර්ශනයකදී අනාවරණය වී තිබේ .
මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග දින 14 ක් තුළ දැනුම් දෙන ලෙස දන්වමින් මහනුවර නාගරික කොමසාරිස් වෙත ලිඛිතව දැනුම් දී තිබෙන අතර එහි පිටපත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, පළාත් පාලන කොමසාරිස්, පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) වෙතද යොමු කොට තිබේ .
මහනුවර මහා නගර සභාව සතු කැප්පිටිපොළ, බෝගම්බර, කටුගස්තොට මැණික් කුඹුර හා මහනුවර මධ්‍යම වෙළඳපොළ යන වෙළඳ සංකීර්ණය යන්හි කුලී ආදායම් රැස් කිරීමේදී 2018 සිට 2023 ජූලි 31 දින දක්වා මෙම මහා මූල්‍ය වංචාව සිදුවී ඇති බවට අනාවරණය වී තිබේ .
අදාළ වෙළඳ සංකීර්ණවල කඩ කාමර 31 කට අයත් කුලී හා දඩ මුදල් අය කිරීමට අදාළව නගර සභාවේ ආදායම් අංශය පරිගණක හතරක තිබෙන තොරතුරු හා මුදල් කුවිතාන්සි පරික්ෂා කිරීමේ දී මෙම තොරතුරු හෙළිව තිබෙන බව විගණන විමසුම දන්වා තිබේ .
මහනුවර මහ නගර සභාවේ ආදායම් සම්බන්ධයෙන් පසුගිය වසර 06 ක කාලයක් තුළ ආදායම් අංශයේ ගණකාධිකාරි, ආදායම් විෂයභාර නිලධාරීන්, පිරික්සුම් නිලධාරීන් හා ආදායම් පරීක්ෂක නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණයක් නොමැතිවීමෙන් මෙම මූල්‍ය අක්රමිකතාව සිදු වී ඇති බවට විගණන විමසුමේ සඳහන්ය .
කඩ කාමර කුලී අයකිරීම් ලේඛනවල කඩ කාමර 11 ක කුලී අය කළ බවට ව්‍යාජ මුදල් කුවිතාන්සි අංකයක් සටහන් කර අවස්ථා දහ තුන කදී රුපියල් 723754.00 ක අක්‍රමිකතාවක් සිදු කොට ඇති බවට එමගින් අනාවරණය වන අතර කඩ කාමර 07 ක මුදල් අය කළ බවට කඩ කාමර කුලී අයකිරීම් ලේඛනවල කුවිතාන්සි අංකයක් හෝ සටහන් නොකර අවස්ථා 08 කදී රුපියල් 3777 87.00 ක මුදලක් ව්‍යාජ ලෙස සටහන් කර තිබෙන බවට ද විගණන විමසුමේදී අනාවරණය වී තිබේ .
කැප්පෙටිපොළ වෙළෙඳ සංකීර්ණයේ 8/33 කඩ කාමරය 2014 ඔක්තෝම්බර් මස මුද්‍රා තැබූ බවට ලිපිගොනුවේ සටහනක් තබා බිල් කිරීම අත්හිටුවා තිබුණ ද එම කඩ කාමරයට යාබද අංක 8/34, 8/35, 8/36, යන කඩ කාමර හිමිකරුවන්ට අංක 8/33 දරණ කඩ කාමරය ද ව්‍යාපාර කරගෙන යාමට ඉඩදී 2015 සිට 2023 ජූනි මාසයේ දක්වා රුපියල් 541400.00 ක මුදලක් කුළී ලෙස අය නොකර මුදල් අක්‍රමිකතාවයක් සිදු කොට ඇති බවට ද එම විගණන විමසුමේ සඳහන්ය .