මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ අලි කලබලයට හේතුව කුඩා ළමයෙකු විසින් පිඹින ලද නළාවක් බව පළමුවෙන් කලබල කළ අලියා බලාගන්නා ඇත්ගොව්වා පවසයි .
පැල්මඩුල්ල විහාරයේ රත්නා නැමැති අලියා ඒ අයුරින් පළමුවෙන් කලබලයට පත්ව ඇති අලියා වන අතර එම අලියා බලාගන්නා අශෝක චන්ද්‍රසේකර මහතා පවසා සිටියේ මෙවන් කතාවකි .
“මගේ අලියා කතරගම දේවාලයේ කරඬුව වඩම්මන ඇතා ගේ පරිවාර ඇස ලෙස ගමන් කළා . එසේ ගමන් කරණ විට මාලිගාවේ පියගැට පෙළ නැඟ පෙරහර ගමන් මාර්ගයට පැමිණෙනවාත් සමඟම යකඩ වැට අයිනේ සිටිකුඩා දරුවකු අලියාගේ හොඬය ලඟට ලංකොට ශබ්ද නැගෙන නළාවක් පිම්බා ඒ සමග අලියා කලබල වී අනෙක් පැත්තට හැරෙන විට කරඬුව වඩම්මන ඇතා ගේ ඇඟේ හැප්පුනා. එවිට අලියා තවත් බිය වී දුවන්න පටන් ගත්තා. මම වසර 25ක් අලි බලන කෙනෙක් මේ අලියා එහෙම කලබල කරන කෙනෙක් නෙවෙයි.
නලාවට බිය වූ නිසා අලියා නවතින්නේම නැතුව දුවන්න පටන් ගත්තා. පසුව අලියා පාලනය කොට පැත්තකින් බැඳගත්තා. මේ සිද්ධියෙන් අප කිසිවෙකුටත් තුවාල සිදු වුණේ නෑ. නලා ශබ්දය වැනි දේවලට අලි තරමක් කලබල වෙනවා. සමහර පුද්ගලයන් අලින්ගේ ඇස් වලට ලෙසර් වැනි දේ අල්ලනවා” බවද පැවසූ චන්ද්‍රසේකර මහතා එවැනි දේ නොකරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.
දළදා මාලිගාවේඅලි ඇතුන් භාරව කටයුතු කරන ප්‍රදීප් මියනපලාව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ට හිංසා වන ආකාරයේ කටයුතු සිදු කිරීමෙන් වැලකී සිටින ලෙසයි. දෙවැනි කුඹල් පෙරහරේ දී සිදු වූ සිදුවීම විශාල සිදුවීමක් නොවන බවත් ඉන් කිසිදු පුද්ගලයකුට අලියකු හෝ ඇතකු පහර දී නොමැති බවත් එසේම කිසිදු ඇතකුට හෝ අලියෙකුට හිංසාකාරී සිදුවීමක් සිදුවී නොමැති බවද පැවසීය .
පෙරහරේදී කලබලකාරී ලෙස හැසිරුණු අලි ඇතුන්දින කිහිපයක් විවේක ගැන්වීමට පියවර ගන්නා බව පැවසූ මියනපලාව මහතා එතෙක් පෙරහර සඳහා අනිකුත් අනෙකුත් අලි ඇතුන් යොදා ගන්නා බව ද පැවසීය .