මහනුවර ජාතික රෝහල අසලදී පැහැරගෙන ගොස් හන්තාන හුලංකපොල්ල ප්‍රදේශයේ දී පහර දී කපා කොටා දමා ගොස් සිටියදී සොයාගත් බව කියන තරුණයාගේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලීසිය කියයි.
දක්ෂ සටන් ශිල්පියෙකු වශයෙන් ප්රකටව සිටි පහරකෑමට ලක් වූ 22 හැවිරිදි තරුණයා මත්කුඩු ග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත නිදහස් වී පැමිණි පුද්ගලයකු බවද පොලිසිය කියයි.
එම තරුණයා පසුගිය 12 වැනි දින පස්වරු 08 ට පමණ මහනුවර රෝහල් පටුමගේ ඔහුගේ නිවස ආසන්නයේදි ත්‍රීරෝද රථ වලින් පැහැරගෙන ගොස් හන්තාන හුලන් කපොල්ල ආසන්නයට රැගෙන ගොස් දමා සිටියදී හමුවී තිබෙන අතර එහිදී ඔහුගේ කකුල් දෙකේ අස්ථි බිඳෙන ආකාරයට පහරදී කපා කොටා තුවාල සිදු කොට තිබූ බව පොලීසිය කියයි.
මෙම තරුණයාගේ මවටද මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ චෝදනා අධිකරණයේ විභාග වෙමින් පවතින බව පවසන පොලිසිය බෝගම්බර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කල්ලියක් විසින් මොහු පැහැරගෙන ගොස් පහර දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර එම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ෂේන් සෙනෙවිරත්න