මහනුවර පෙරහැරේ බුද්ධිමය දේපළ හිමිකම් සුරැකීමට කමිටුවක්
මහනුවර ඇසළ පෙරහැරට අදාළ ඓතිහාසික, සංස්කෘතික හා සම්ප්‍රදායික බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති යෝජනාවක් සකස් කර ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) වෙත ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) සංවර්ධන හා බුද්ධිමය දේපළ පිළිබඳ කමිටුව විසින් "බුද්ධිමය දේපළ හරහා උත්සව සංචාරක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම" නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. දේශීය සම්ප්‍රදායන් හා සංස්කෘතික උරුමයන්ට ගරු කරමින්, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උපයෝගී කරගෙන උත්සව සංචාරක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා සංස්කෘතික උත්සව සංවිධායකයන්ගේ ධාරිතාව වර්ධනය කිරීම එම ව්‍යාපෘතියේ අරමුණ වේ.
සියවස් ගණනාවක් පුරා පාරම්පරිකව සම්ප්‍රේෂණය වූ සම්ප්‍රදායික කලා ආකෘති සහ දැනුමෙන් පොහොසත් මහනුවර ඇසළ පෙරහැරට අදාළ ඓතිහාසික, සංස්කෘතික හා සම්ප්‍රදායික දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් එම WIPO වැඩසටහන යටතේ ඉදිරිපත් කිරීමේ යෝග්‍යතාව හඳුනාගෙන ඇත.
ඒ අනුව, ප්‍රකාශන හිමිකම් ආරක්ෂාව සහ වෙළෙඳ ලකුණු හා සන්නාමකරණය යන ක්ෂේත්රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, මහනුවර ඇසළ පෙරහැරේ ඓතිහාසික, සංස්කෘතික හා සම්ප්‍රදායික අනන්‍යතාව සහ වටිනාකම්වල බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කළ හැකි අයුරින් ව්‍යාපෘති යෝජනාව සකස් කිරීමට නියමිතය.
මේ සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම-සභාපතිත්වය යටතේ අදාළ සියලු පාර්ශ්ව නියෝජනය වන කමිටුවක් පත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
