පසුගිය බදාදා පෙරවරු 09.28 මහනුවර දිස්ත්‍රික්කයේ අඹකොටේ, හාරගම සහ අනුරගම ප්‍රදේශවලින් වාර්තා වූ භූ කම්පනය සම්බන්ධයෙන් වහා පර්යේෂණයක් ආරම්භ කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව එම ආයතනයේ සභාපති අනුර වල්පොල මහතා විසින් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් එම විමර්ශන කටයුතු සඳහා ඊයේ (19) පිටත් කර හරිනු ලැබීය.
මෙම ප්‍රදේශයෙන් කෙටි කාල සීමාවක් තුළ භූ කම්පන තුනක් වාර්තා වී ඇති බැවින් එම භූ කම්පන මහනුවර දිස්ත්‍රික්කයට ආසන්නව පිහිටි විශාල ජලාශවල වේලි සඳහා බලපෑමක් එල්ල කරන්නේද යන්න හා එම කම්පන ඇතිවීමට හේතු කුමක් දැයි සොයා බැලීම මෙම විමර්ශනයේ අරමුණයි.
ඒ අනුව භූවිද්‍යාඥ මහසෙන් වික්‍රමසිංහ සහ භූ කම්පන විද්‍යාඥ ජයනාත් හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශන කටයුතු දැනට සිදුකරමින් පවතී.
දැනට සිදුකර ඇති විමර්ශන අනුව එම ප්‍රදේශවල පොළොව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථරයන්හි පීඩනය නිදහස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි රිච්ටර් මාපක අංක02 වැනි අගයක් සහිත භූ කම්පන සිදුවන බවත් සාමානයෙන් වර්ෂයකට මෙවැනි භූ කම්පන ලක්ෂ තුනක් පමණ ලෝකය පුරා සිදුවන බවත් වාර්තා වේ.
නමුත් මෙම භූ කම්පනය පිළිබඳ ඇතැම් විද්‍යාඥයින් අදහස් පළ කරමින් හුණු ගල් කැඩීම මෙවැනි භූ කම්පනවලට හේතුවන බවත් එම නිසාම එවැනි කම්පන නිසා ජලාශ වේලි අනතුරට පත්විය හැකි බවත් පෙන්වා දී ඇත.
එම සියලුම කරුණු සම්බන්ධව අවධානය යොමු කරමින් සිදුකරන මෙම විමර්ශනයේ වාර්තාව ලබන සඳුදා තමන් අතට පත්වන බවත්, එහි නිර්දේශයන්ට අනුව ඉදිරි පියවර පිළිබඳ අවධානය යොමු කරන බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසයි.