එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි බළකායට විරුද්ධව යුද්ධ කිරීම සඳහා හිටපු ඉන්දිය අගමැති අතල් බිහාරි වජ්පායි මහතා සහයෝගය ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඉන්දියාවේ හිටපු අගමැති ශ්‍රී අතල් බිහාරි වජ්පායි මහතාගේ අභාවය නිමිත්තෙන් අද (19දා) උදෑසන ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය වෙත පැමිණ එහි තිබූ සටහන් පොතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සටහනක් තබමින් එතුමාට ශෝකය පළ කළේ ය. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් දැක්වීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"එතුමා අපිට අමාරු කාලයක ලංකාව වෙනුවෙන් සැමවිටම කතා කළා. විශේෂයෙන්ම අපි සමග මිත්‍ර සබඳතා ආරක්ෂා කරගත යුතුයි කියා එතුමා පැවසුවා. විපක්ෂ නායකයන් හැටියටත් අප දෙදෙනාට මුණගැසීමට අවස්ථාවද ලැබුණා.
එතුමා අගමැති වූ පසු අපි ඒ සබඳතාවය දිගටම තියා ගත්තා. එතුමාගේ දුරකථන අංකය පවා මා වෙත ලබාදී තිබුණා. විටින් විට අපි දේශපාලනය ගැන සාකච්ඡා කළා.
මීට ඉහත මා අගමැති ධුරයට පත් වන විට අපේ රටේ එල්ටීටීඊ සංවිධානය ශක්තිමත් වී තිබුණා. ඒ වන විට යාපනයේ විශාල ලෙස අප පසු බැස තිබුණා. එමෙන්ම රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. මෙවැනි පසුබිමක එදා එතුමා ආර්ථිකය දියුණු කිරීමටත්, අපේ හමුදාව පුහුණු කිරීමටත් අවශ්‍ය සහයෝගය අප වෙත ලබාදුන්නා.
ඒ සහයෝගය එදා අපට නොලැබුණා නම් ඉදිරි පියවර තැබීමට එදා අපට හැකියාවක් තිබුණේ නැහැ. මුහුදු කොටි පැමිණීම නැවැත්වීමට එතුමාගේ ආධාර අප වෙත ලැබුණා. එතුමා ශ්‍රී ලංකාව ගැන විශාල උනන්දුවකින් කටයුතු කළ නායකයෙකු බව කිව යුතුයි.” යැයි ප්‍රකාශ කළේය.