මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව මුහුණුපොතේ අදහස් පළ කළ අරගලයේ ක්රියාකාරිකයකු මහරගම දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.
" ඔබත් 75 නිදහස් උලෙළේ ආරාධිත අමුත්තෙක් ද ? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න යැයි සැකකරු මුහුණුපොතේ සඳහන්කර තිබුණි.
පුද්ගලයකු සිය මුහුණු පොතේ මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළ කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැළඹීමක් ඇතිවන ආකාරයේ අදහස් අතර විවිධ ආකාරයෙන් සකස්කර ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබිණි.
ඒ අනුව එලෙස අදහස් පළ කළ සැකකාර පුද්ගලයාගේ මුහුණු පොතේ ගිණුම පරීක්ෂාකර ඔවුන්ගේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වීම සහ රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පවතින පුද්ගලයෙක් බවත් පොලිසිය පැවසීය.
40 හැවිරිදි සැකකරු නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.