ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නවදිල්ලියේ දී හමු වූ අතර දෙරට අතර ආර්ථීක හා මුල්‍ය සබ`දතා තව දුරටත් දිරියට ගෙනයෑම පිළිබඳව සාකච්ඡා කළහ.
වත්මන් ආර්ථික අර්බුදය තුළ ඉන්දීය ආර්ථික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් මොරගොඩ මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට අමාත්‍ය සීතාරාමන් සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අංශ ගණනාවකින් සහාය ලබාගත හැකිවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව දැනට කරගෙන යන සාකච්ඡා සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව, මහ කොමසාරිස් මොරගොඩ මහතා මෙහි දී අමාත්‍ය සීතාරාමන් මහත්මිය දැනුම්වත් කළේය. ආර්ථික සංකෝචනය ශ්‍රී ලංකාවේ ජනගහනයේ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කොටස් කෙරෙහි ඇති කරන දැඩි බලපෑම පිළිබඳව ද මෙහි දී සඳහන් කරන ලදී.
අභියෝගාත්මක සහ දුෂ්කර කාල පරිච්ඡේදය තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති හදිසි ආධාර සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන් සමග කටයුතු කිරීමේ දී මුදල් අමාත්‍යවරියගේ පෞද්ගලිකවම අවධානය යොමු කර මැදිහත්වීම් පිළිබඳව මහ කොමසාරිස්වරයා නැවත වරක් අමාත්‍ය සීතාරාමන් මහත්මියට ස්තූතිය පුද කළේය.
මහ කොමසාරිස් මොරගොඩ සහ අමාත්‍ය සීතාරාමන් මහත්මිය ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවයේ තත්ත්වය සමාලෝචනය කළ අතර, ආයෝජන, සංචාරක සහ වෙළෙඳාම වැඩිදියුණුවට පවතින අවස්ථා පිළිබඳව ද මහ කොමසාරිස්වරයා මෙහි දී පුලූල් වශයෙන් සාකච්ඡා කර ඇත.
දෙරට අතර බහුවිධ ආර්ථික ඒකාබද්ධතාවයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා ඉන්දියාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ද මහ කොමසාරිස්වරයා මෙහි දී අවධාරණය කළේය.
