කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසි විටෙක ඉවත් නොවන බවත් මාස් කන්නයේ දී කුඹුරු ඉඩම්වලින් සියයට 30ක් කාබනික වගාව සඳහා යොදා ගැනීමට දැනටමත් නිර්දේශ කර අවසන් බවත් කෘෂිකර්හ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසිය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය සිකුරාදා (05) මැල්සිරිපුර උමංදාව කාබනික වගාව නිරීක්ෂණය කිරීමට සහභාගි වෙමිනි.
“ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නවා. ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිදු කාබනික පොහොර වර්ගයක් සඳහා අනුමැතිය ලබා නොදීමටත් තීරණය කළා. කාබනික වගාව අපේ රටට අත්‍යවශ්‍ය දෙයක්. ගොවීන් විශාල පිරිසක් කාබනික වගාවෙහි නිරත වෙනවා.
ඒ වගේම ලබන මහ කන්නයේ දී කාබනික වගාවෙහි යෙදෙන ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර මුදලක් ලබා දීමටත් පියවර ගන්නවා. තමන්ට අවශ්‍ය කාබනික පොහොර තෝරා ගැනීමේ අයිතිය අපි ගොවීන්ට ම ලබා දෙනවා. රජය බළාත්කාරයෙන් ගොවීන් මිල දී ගත යුතු කාබනික පොහොර තීරණය කරන්නේ නැහැ.
සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ විසින් උමංදාව තුළ හඳුන්වා දී තිබෙන විද්‍යාත්මක කාබනික කෘෂිකාර්මික ප්‍රවේශය සැබවින්ම රටේ ගොවි ජනතාවට හොඳ ආදර්ශයක්. උමංදාව වැනි සාර්ථක ආදර්ශණ විද්‍යාත්මක කාබනික කෘෂිකාර්මික ව්‍යාපෘති තවත් දෙකක් යාපනය හා දකුණු පළාතේ ස්ථාපිත කිරීමට අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා. උන්වහන්සේ ඊට එකඟත්වය පළ කළා. රජයේ මුදල් රුපියලක් වත් වැය නොකර දේශීය හා විදේශීය රටවල සහයෝගය ඇතිව එම ව්‍යාපෘති ඇරඹීම උන්වහන්සේ එකඟත්වය පළ කළා” කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.