තම ඥාති මස්සිනාට පහරදීම සඳහා කැඳවූ මිතුරන් දෙදෙනෙකුට වේරහැර, බෝධිරාජපුර වත්ත ප්රදේශයේ පදිංචිකරුවන් විසින් තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් එක් අයෙකු ඊයේ (23දා) දින රාත්රියේ ඝාතනයට ලක්ව ඇති බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
මෙලෙස පහර කෑමට ලක් වීමෙන් මියගොස් ඇත්තේ (46) වැනි වියේ පසුවන මහරගම, දුම්රියපල පටුමග ප්රදේශයේ පදිංචිකරුවකු වන දර්ශන කුමාර නැමැති පුද්ගලයෙක් බවද බවද පොලිසිය පැවැසීය.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඥාතීන් පිරිසක් අතර පැවැති ආරවුලක් සම්බන්ධයෙන් තම මස්සිනා සමග ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් සැලසුම් කොට තම මස්සිනාට පහරදීම සඳහා මහරගම, සහ පිළියන්දල ප්රදේශයන් හී පදිංචි තම මිතුරන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් මගින් කතා කොට තිබේ.
ඉන් අනතුරුව ඉරිදා රාත්රියේ බෝධිරාජපුර ක්රීඩාංගණයේදී මස්සිනාට පහර දීම සඳහා තමන්ට සහාය ලබාදෙන මෙන් කළ ඉල්ලීමක් මත පැමිණි මිතුරන් දෙදෙනා සමග මත්පැන් සාදයක් පවත්වා එය අවසානයේදී අදාළ පුද්ගලයා ක්රීඩාංගනය තුළට රැගෙන විත් පහරදීම සඳහා මොවුන් සැලසුම්කර සූදානම් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
මෝදරගේ සුසිත් කුමාර නොහොත් (කට්ටා) නැමැති පුද්ගලයා සමග තම ප්රදේශයේ පදිංචිකරුවකුට පහරදීම සඳහා කිහිපදෙනෙකු සූදානමින් සිටින බවට ලද ආරංචියක් මත ප්රදේශවාසීන් පිරිසක් ඔවුන් තිදෙනා සිටි ක්රීඩාංගනය තුළට ගොස් මේ පිළිබඳ විමසීමේදී ඇතිවූ බහින්බස් වීමක් මත ගම්වාසීන් තියුණු ආයුධවලින් පහර දීමේදී පිලියන්දල ප්රදේශයෙන් පැමිණි පුද්ගලයා සමග කට්ටා නැමැති අය පැන ගොස් ඇති බවත් සිද්ධියේදී ගම්වාසීන් අතරට කොටු වූ මහරගම ප්රදේශයෙන් පැමිණි පුද්ගලයා පහරකෑමෙන් ඝාතනයට ලක්ව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලිසිය පවසයි.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මහරගම පුද්ගලයා ප්රදේශවාසීන් පිරිසක් විසින් ප්රතිකාර සඳහා රෝහල්ගත කරන විටත් මිය ගොස් සිටි බව කළුබෝවිල රෝහලේඉ රෝහල් ප්රකාශකයෙකු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් එක් අයෙකුද කැපුම් තුවාල හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල රෝහල) ප්රතිකාර ලබන බවත් අනෙක් පුද්ගලයන් දෙදෙනා බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ රඳවාගෙන සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශ සටහන් කරගන්නා බවත් පොලිසිය පවසයි.
මෙම සිදුවීමට අදාළ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවත් පොලීසිය පැවසීය.