කෝවිඩ් 19 වසංගතය රට තුළ පැතිරෙමින් තිබෙන අවස්ථාවේදී විපක්ෂය පසුගිය මාස 5 කාලයකදී ජනතාව 106,648ක් උද්ඝෝෂණ සඳහා යොමු කර තිබෙන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (07දා) පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එම ජනතාව ආණ්ඩුව විසින් ජනතාව ව්‍යසනයට මෙන්ම විනාශයට පත්කිරීම හේතුකොටගෙන පාරට බැහැපු ජනතාව මිස නිවසට වී සිටීමට නොහැකිව පාරට බැහැපු ජනතාව නොවන බවත් එය ආණ්ඩුව තේරුම්ගත යුතු බවත් එහිදී අදහස් පළ කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන - අපි අභියෝග රාශියකට මුහුණ දෙන අවස්ථාවේ එක රාජ්‍ය සේවකයෙකුගේ එක රුපියලක් අඩු කරලා නෑ. මෙහෙම අභියෝගයට මුහුණ දෙන විට විපක්ෂයෙන් ලැබෙන ලාබ ප්‍රයෝජන මොනවාද. අප්‍රේල් මාසයේ විරෝධතා 5යි. සහභාගී වූ පිරිස 4044යි. මැයි මාසයේ විරෝධතා 11යි. සහභාගී වූ පිරිස 2597යි.
ජූනි මාසයේ 294ක් විරෝධතා විරෝධතා කරලා තිබෙනවා. 16, 421 සහභාගී වෙලා තිබෙනවා. ජූලි මාසයේ 418ක් විරෝධා කරලා තිබෙනවා. ඒ කියන්නේ කෝවිඩ් රැල්ලේ ඩෙල්ටා ප්‍රභේදය රට තුල ව්‍යාප්ත වන මොහොතේ. 65127ක් සහභාගීවෙලා ඒකට. අගෝස්තු මාසයේ විරෝධතා 119යි. 18,459ක් සහභාගී වෙලා තිබෙනවා. ඉතින් 106,648ක් මේ රටේ ජනතාව පාරට බස්සලා තිබෙනවා. ඉතින් මේ වගේ වෙලාවකදී ආණ්ඩුවක් විපක්ෂයක් ලෙස නෙවෙයි ජාතියක් ලෙසයි මේකට මුහුණ දෙන්න ඔ්නී.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක - මට පෙර කතා කළ ආණ්ඩුවේ නියෝජිතය ප්‍රකාශ කළ පරිදි ලක්ෂ ගණනක් පාරට බැහැලා තිබෙනවා මේ මාස කිහිපය තුල. මිනිස්සු කැසිල්ලට පාරට බහින්නේ නෑ. තමන්ගේ ගම්බිම් වල තිබෙන වනාන්තර කොම්පැනි කාරයන්ට පාවලා දෙනකොට ඒකට විරුද්ධව පාරට බැහැලා තිබෙනවා.
ගොවි ජනතාවට තමන්ගේ යෙදුම් නොලැබෙනකොට පාරට ඇවිල්ලා තිෙබනවා. පෝට්සිටි සින්නක්කරව චීනයට පැවරීම සඳහා නීති සම්පාදනය කරන විට මිනිස්සු පාරට ඇවිල්ලා තිබෙනවා. නැගෙනහිර ජැටිය විකුණන්න හදද්දි මිනිස්සු පාරට ඇවිල්ලා තිබෙනවා. ගුරුවරු තමන්ගේ වෘත්තීය ගරුත්වය වත්වාගෙන වෘත්තීයේ යෙදීම සඳහා සාදාරන ඉල්ලීම් වෙනුවෙන් පාරට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේ කිසිවෙක් ගෙදරට වෙලා නිකන් ඉන්න බැරි නිසා පාරට ආපු අය නෙවෙයි. ආණ්ඩුව විසින් ඒ ජනතාව ව්‍යසනයට, විනාශය පත්කිරීම හේතුකොටගෙන පාරට බැහැපු ජනතාව. ඒ නිසා ආණ්ඩුව ඒක තේරුම් ගන්න ඔ්නී.