මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදී එම ශාලාවේ පිටත ගෙට්ටුව අසල ඊයේ (12දා) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
එසේ උණුසුම් තත්ත්වය ඇති වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එම බලමණ්ඩල රැස්වීමට ආරාධනා නොකිරීම මීට හේතුවී තිබේ.
මාවනැල්ල නගරයට ආසන්න පෞද්ගලික උත්සව ශාලාවකදී මෙම ආසන බලමණ්ඩල රැස්වීම සංවිධානය කර තිබුණු අතර, මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා මෙය සංවිධානය කර තිබිණි.
රැස්වීම පස්වරු 2.00ට පමණ ආරම්භ වූ අතර, රැස්වීම පවත්වන අවස්ථාවේදී ඉදිරිපස ගෙට්ටුව අසල සිටි අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා මාවනැල්ල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායකවරයා ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එම උණුසුම් තත්ත්වය හමුවේ රැස්වීමේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙකු වන වසන්න ලාල් මහතා ඔහුගේ කැමරාවද අතතිව මන්ත්‍රීවරුන් සහ එම ආධාරකරුවන් වෙත ගිය පසු ඔවුන් සමග ගැටුමක් ඇති කර ගත් අතර, තමන් මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කරන බව එහිදී වසන්ත ලාල් මහතා මාවනැල්ල පොලිස් නිලධාරීන්ට පැවසීය.
උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුවද බල මණ්ඩල රැස්වීම බධාවකින් තොරව පැවැති අතර, ඒ සඳහා පොලිස් ආරක්ෂාව ඇතිව උත්සව ශාලාවේ ඉදිරිපස ගෙට්ටුව වසා දමා පක්ෂ සමාජිකයන්ගේද සහයෝග මත රැස්වීම පැවැත්වීය.
කෙසේ වෙතත් උත්සවයට තමන්ට පක්ෂය විසින් ආරාධනා නොකරන ලද බව පවසන එම්.එස්.එම්. කාමිල් මන්ත්‍රීවරයා හා එම්.ආර්.එම්. අසාම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“අපිට පක්ෂයෙන් ආරාධනා කළේ නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපේ පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 5 දෙනෙකු මාවනැල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කළා.
එයින් තිදෙනෙක් ඔය බලමණ්ඩලයට සහභාගි වේලා ඉන්න අය එක්සත් ජාතික පක්ෂය සමග එකතු වේලා පක්ෂයට පටහැණි තීරණ අරන් ඔහුන්ට මාවනැල්ල ප්‍රාදේශීය සභාව තුළ බලය පිහිට වන්න සහයෝගය ලබා දුන්නා. මේ සියලු දේවල් කළේ මුදලට ඒ නිසා අපි කියන්නේ මේ මාවනැල්ල ප්‍රධාන සංවිධායක හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ඉවත් කරලා වෙන කෙනෙක් මාවනැල්ල ශ්‍රීලනිප මාවනැල්ල ආසනයට පත් කරලා මේ පක්ෂය ගොඩගන්න කියලා, අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.
කෙසේ හෝ රැස්වීමට එම පක්ෂයේ මහලේකම් මහින්ද අමරවී, අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වන බව ජනතාව දැනුවත් කර තිබුණද එම පක්ෂ නායකයන් ඊට සහභාගි නොවීය.
මාවනැල්ල හෙම්මාතගම - විජය බණ්ඩාර